මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන 12 දා ජනතා අයිතියට

මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ලබන 12 දා ජනතා අයිතියට
  • SocialShare:

මෙරට වකුගඩු ගල් රෝගයෙන් පීඩා විදින දහස් සංඛ්‍යාත රෝගීන්ට ප්‍රතිකාර මධ්‍යස්ථානයක් ලෙසත්, වකුගඩු ගල් ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කර ගැනීම සඳහා දැනට පවතින 5000 කට අධික පොරොත්තු ලේඛණ යම්තාක් මට්ටමකින් අවම කිරීම සඳහා විසදුමක් ලෙසත්, මුළු දිවයිනටම සේවා සලසා ගත හැකි අයුරින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති “මීරිගම ජාතික වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය” ලබන 12 දා පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරේ.

වකුගඩු ආශ්‍රිතව ඇති වන ගල් (Kidney Stone Disease) යනු ශ්‍රී ලංකාවේ බහුලවම දැකිය හැකි රෝග තත්ත්වයන්ගෙන් එකකි. දිවයින පුරා විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් සමන්විත විශේෂඥ මූත්‍රා රෝග ඒකක 30 කට අධික සංඛ්‍යාවක් ක්‍රියාත්මක වුව ද,  ප්‍රතිකාර සඳහා පවතින ඉල්ලුම ඉතා ඉහළ තත්ත්වයක පවතී. විශේෂයෙන්ම  යටිතල පහසුකම්වල සීමාවන්, ශල්‍යාගාර අවමවීම සහ  නවීන එන්ඩොයුරොලොජිකල් තාක්ෂණයට ඇති සීමිත ප්‍රවේශය මේ සඳහා ප්‍රධාන හේතු වී ඇත. වර්තමානයේ මෙරට වකුගඩු ගල් ඉවත් කිරීමේ  ශල්‍යකර්මය සිදුකර ගැනීම සඳහා රෝගීන් 5,000 කට අධික පිරිසක් පොරොත්තු ලේඛනවල සිටින බවට ඇස්තමේන්තු කර ඇත.

මෙම ගැටළුකාරි තත්ත්වයට විසදුමක් ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ බෝනොවන රෝග (NCD) කාර්ය සාධක බලකාය වෙත ඉදිරිපත් වූ යෝජනාවන් පිළිබඳ සළකා බැලීමෙන් අනතුරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් පරිදි ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (SLAUS) සහයෝගය සහිතව වකුගඩු ගල් රෝගීන් සඳහා විශේෂිත වූ මධ්‍යගත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීමේ සංකල්පය ප්‍රවර්ධනය කළ අතර, මේ දක්වා ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ද එම සංගමය නොඅඩුව ලබාදෙනු ලැබීය.

ශල්‍යකර්ම පොරොත්තු ලේඛන අවම කිරීම සඳහා ප්‍රායෝගික ජාතික උපාය මාර්ගයක් ලෙස ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය යටතේ  දිවයිනේ විවිධ ප්‍රදේශවල සේවය කරන විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ට තම රෝගීන් මෙම මධ්‍යස්ථානයට රැගෙන විත්, නවීන තාක්ෂණික පහසුකම් යටතේ ඉහළ කාර්යක්ෂමතාවයකින් යුත් ශල්‍යකර්ම සිදු කිරීමට හැකි පරිසරයක් නිර්මාණය කිරීම මෙහිදි මූලික වශයෙන් සිදු වේ. ඒ සඳහා රජයේ සෞඛ්‍ය සේවයේ නියුතු සියලුම විශේෂඥ මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන් සඳහා එහි දොරටු විවෘත වීම ද විශේෂත්වයකි.

එමෙන්ම වකුගඩු ගල් ඉවත් කිරීමේ ප්‍රතිකාර මධ්‍යස්ථානය ආරම්භයේ දී ප්‍රකට ව්‍යවසායකයෙකු වන ඉංජිනේරු නහිල් විජේසූරිය මහතා අවශ්‍ය නවීන උපකරණ සහ තාක්ෂණ පහසුකම් රැසක් ලබාදීමෙන් ද සහාය දැක්වීමට කටයුතු කර ඇත. 

මෙම මධ්‍යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඇතුළු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින්, මීරිගම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි චමින්ද ප්‍රේමරත්න, පළාත් සෞඛ්‍ය බලධාරීන්,  ශ්‍රී ලංකා මූත්‍රා රෝග ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයින්, ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල එක්වීමට නියමිතය.