දැනට ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන 450කට ආසන්න සියලුම ආබාධිත විද්‍යාර්ථයින් ඇගයීමට ලක් කරමින් ඔවුන් වෙත එක්වරක් පමණක් ලබාදෙන රුපියල් ලක්ෂයක ශිෂ්‍යාධාරයක් ලබාදීමට සැලසුම් කර ඇතැයි ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කරයි.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (09) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විශේෂ අවශ්‍යතා සහිත විශ්වවිද්‍යාල සිසුන් සඳහා ක්‍රියාත්මක කරන ජනාධිපති අරමුදල් ශිෂ්‍යාධාර වැඩසටහන පිළිබඳ දැනුවත් කිරීම සඳහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.
රාජ්‍ය විශ්ව විද්‍යාලවල ඉගෙනුම ලබන ආබාධ සහිත සිසුන් ඇගයීමේ වැඩසටහනක්
සරසවි දිරියෝ අභිමන් නමින් මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන ආබාධ සහිත විද්‍යාර්ථයින් ඇගයීමේ වැඩසටහනක් එළඹෙන සෙනසුරාදා (11) අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.
ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති අරමුදලත් සම්බන්ධ කරගනිමින් මෙම ඇගයීම සිදුකරන බවද මේ හරහා ආබාධ සහිත සිසුන් උසස් අධ්‍යාපනය සදහා තව තවත් දිරි ගැන්වීම අපේක්ෂා කරන බවද පැවසුවේය.
මෙම වැඩසටහන අඛණ්ඩව පවත්වාගෙන යන බවද මින් ඉදිරියට විශ්ව විද්‍යාල සදහා සුදුසුකම් ලබන ආබාධ සහිත විද්‍යාර්ථයින්ට ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු තවත් හොදින් කරගෙන යාමට ජනාධිපති අරමුදල මගින් රුපියල් ලක්ෂයක දීමනාව ලබාදෙන බවද සදහන් කළේය.
මෙමගින් ආබාධ සහිත සිසුන් අන්තර්කරණීය අධ්‍යාපන ක්‍රමයට යොමු කරමින් ඔවුනුත් සමාජයේ අනෙකුත් සාමාන්‍ය පුරවැසියන් මෙන්ම මානව සම්පතට එකතු කරමින් ඔවුන්ගේ සමාජ සහ ආර්ථික ජීවිතය ශක්තිමත් කිරීම අරමුණ බවද පැවසුවේය.
වත්මන් රජය බලයට පත්වූ මොහොතේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබන විද්‍යාර්ථයින්ට එතෙක් ලබාදුන් ශිෂ්‍යාධාර අරමුදල රුපියල් 4000 මුදල රුපියල් 9000 දක්වා වැඩි කළ බවද මහපොළ ශීෂ්‍යාධාර ලබාගත් අයට එම දීමනාව රුපියල් 5000 මාසිකව රුපියල් 10,000 දක්වා ඉහළ නැංවූ බවද පැවසුවේය.
ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා ලෙස 2026 අයවැයෙන් කිසියම් ආබාධ සහිත සිසුවෙක් රජයේ විශ්ව විද්‍යාලයක උසස් අධ්‍යාපනය ලැබීම සදහා තෝරා පත්කර ගන්නේ නම් ඔවුන්ට ශිෂ්‍යාධාර සහ මහපොළ ශිෂ්‍යාධාරවලට අමතරව තවත් රුපියල් 5000ක අමතර දීමනාවක් ලබාදීමට යෝජනා කර මේ වන විට එය ක්‍රියාත්මක වෙමින් පවතින බවද අවධාරණය කළේය.
ආබාධ සහිත පුද්ගලයින්ගේ අධ්‍යාපන අවස්ථා සදහා අවශ්‍ය මගපෙන්වීම , අවශ්‍ය ආධාර උපකාර කිරීම සහ ඔවුන්ට අවශ්‍ය අනෙකුත් පහසුකම් සැලසීම මෙමගින් අපේක්ෂා කරන බවද පැවසුවේය.
වත්මන් රජය බලයට පත්වන විට ආබාධ සහිත සිසුන්ට උසස් අධ්‍යාපන අවස්ථා ලබාදී තිබුණේ සීමිත විෂයන් ක්ෂේත්‍රයක පමණක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා වත්මන් රජය බලයට පත්වූ පසු විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම සමග සාකච්ඡා කර අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශීය උපදේශන කාරකසභාව හරහා මේ වන විට මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල ඕනෑම එකක ඕනෑම පීඨයකට ආබාධ සහිත සිසුන්ට ඇතුලත් වීමට අවශ්‍ය පහසුකම් ලබාදී ඇතැයිද පැවසුවේය.


