පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ක්ෂේත්‍ර රැසකින් වෘත්තීය පුහුණුව ලබා දෙනවා - පුනරුත්ථාපන කාර්යාංශයේ කොමසාරිස් ජනරාල්

පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ක්ෂේත්‍ර රැසකින් වෘත්තීය පුහුණුව ලබා දෙනවා - පුනරුත්ථාපන කාර්යාංශයේ කොමසාරිස් ජනරාල්
  • SocialShare:

රටම එකට ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් අනතුරුව මත්ද්‍රව්‍ය භාවිත කිරීම නිසා පුනරුත්ථාපනයට යොමු වූ පිරිසගේ සැළකියයුතු අඩුවීමක් දක්නට ලැබෙන බව පුනරුත්ථාපන කාර්යාංශයේ කොමසාරිස් ජනරාල් බ්‍රිගේඩියර් එම්.එස්.අමිත් මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද (10) රටම ඒකට ජාතික මෙහෙයුම ප්‍රධාන කාර්යාලයේ පැවති විශේෂ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි.
මේ වනවිට වයස් කාණ්ඩ දෙකක් යටතේ මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූ පුද්ගලයන් පුනරුත්ථාපනය කිරිම සඳහා මධ්‍යස්ථාන තුනක් පිහිටුවා ඇති බව පෙන්වා දුන් ඒ මහතා ඉන් දෙකක් වව්නියාව දිස්ත්‍රික්කයේ සහ එකක් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආරම්භ කර ඇති බව සඳහන් කළේය.එසේම විද්‍යානුකූල ක්‍රමවේදයකට කාලානුරූපව සකස් කර ඇති වැඩසටහන් ඔස්සේ මෙම පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු කරන බව සඳහන් කළ ඒ මහතා ඒ සඳහා බුද්ධි මණ්ඩලයක් කටයුතු කරන බවද පෙන්වා දුන්නේය.
එසේම පුනරුත්ථාපන මධ්‍යස්ථානවලින් පිටවන පිරිස් පිළිබඳව පසු විපරමක් සිදු කරන බව පෙන්වා දුන් ඒ මහතා උපදේශන ක්‍රියාවලිය ශක්තිමත් කිරීම වෙනුවෙන් දිස්ත්‍රික්ක මට්ටමින් එම නිලධාරීන් බඳවා ගැනීමට කටයුතු කරන බවද කීය.ඒ සඳහා වන නියමු ව්‍යාපෘතිය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන අතර දෙවැනි අදියර ගාල්ල දිස්ත්‍රික්කයේ ආරම්භ කරන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
තවද පුනරුත්ථාපන මධ්‍යස්ථානවල ක්ෂේත්‍ර 13 ක් යටතේ මෙම මධ්‍යස්ථාන හරහා පුනරුත්ථාපනය වන පිරිස් සඳහා වෘත්තීය පුහුණුවක් ලබා දෙන බව සඳහන් කළ ඒ මහතා එම පුහුණුව සාර්ථකව අවසන් කරන පිරිස් වෙත තෙවන මට්ටමේ වෘත්තීය පුහුණු සහතිකයක් ලබා දෙන බවද කීය.
මෙම පුනරුත්ථාපන මධ්‍යස්ථානවෙත ස්වේච්ඡාවෙන් පැමිණ ලියාපදිංචි කටයුතු සිදු කර ගත හැකි බව පෙන්වා දුන් ඒ මහතා 076 - 9627761 දුකරකතන අංකය ඇමතීමෙන් ඒ සම්බන්ධව වැඩිදුර තොරතුරු ලබා ගත හැකි බවද සඳහන් කළේය.