මහජන මුදල් වංචා කරන හෝ අවභාවිත කරන කිසිදු පුද්ගලයෙකුට වර්තමාන රජය යටතේ සමාවක් නොලැබෙන බවත් රාජ්‍ය මූල්‍ය විනය තහවුරු කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් බවත් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.
අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ, ඊයේ (10) අරලියගහ මන්දිරයේදී පැවති "ජාතික ප්‍රජා සවිබලගැන්වීමේ මාසය" ක්‍රියාත්මක කිරීම සඳහා ගම්පහ, කොළඹ, කළුතර, ගාල්ල, රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ සමාරම්භක වැඩසටහනට එක්වෙමිනි.
රටේ දරිද්‍රතාව තුරන් කිරීම එක් ආයතනයක වගකීමක් නොව සමස්ත රාජ්‍ය යාන්ත්‍රණයේම වගකීමක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, එය රජයේ "පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන අරමුණක් බව සඳහන් කළේය.
ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි නිලධාරීන්, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාරවරුන් ඇතුළු සියලු ක්ෂේත්‍ර නිලධාරීන් තනි තනිව නොව, ඒකාබද්ධව හා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ වැදගත්කමද හෙතෙම අවධාරණය කළේය. ජනතා අවශ්‍යතා නිවැරදිව හඳුනාගෙන වගකීමෙන් හා කැපවීමෙන් සේවය කිරීම සියලු රාජ්‍ය නිලධාරීන්ගේ යුතුකම බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
අත්‍යවශ්‍ය සුබසාධන ප්‍රතිලාභ සුදුසු ප්‍රතිලාභීන් වෙත නිසි ලෙස ලබාදීම රජයේ ස්ථාවර ප්‍රතිපත්තිය බව පැවසූ අමාත්‍යවරයා, සවිබලගැන්වීම යනු භෞතික සංවර්ධනය පමණක් නොව මානසික හා සමාජීය වශයෙන් ජනතාව ශක්තිමත් කිරීමේ ක්‍රියාවලියක් බවද පෙන්වා දුන්නේය.
ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් "ප්‍රජා සවියට නව බලයක්" තේමාව යටතේ ජූලි 15 සිට අගෝස්තු 15 දක්වා "ජාතික ප්‍රජා සවිබලගැන්වීමේ මාසය" ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර එහි අරමුණ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ වැඩසටහන් වේගවත් කිරීම සහ සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීම බව සඳහන් කෙරිණි.
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මෙතෙක් ඉටු කළ සේවය අගය කළ අමාත්‍යවරයා, එය තවදුරටත් ජනතා විශ්වාසය දිනාගත් ගෞරවනීය රාජ්‍ය ආයතනයක් බවට පත් කිරීමේ වගකීම සියලු නිලධාරීන් සතු බවද සඳහන් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම්වරුන් වන රාධා නානායක්කාර මහත්මිය සහ නාලිකා පියසේන මහත්මිය, ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ආර්. රුෂාන්තන් මහතා, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දම්මික මුතුගල මහතා ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු නිලධාරීන් විශාල පිරිසක් සහභාගි වූහ.


