ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අභිමානවත් සියවස් සැමරුමට සමගාමීව මහජනතාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය පාගමනක්

ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අභිමානවත් සියවස් සැමරුමට සමගාමීව මහජනතාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය පාගමනක්
  • SocialShare:

ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රයට සියවසක් පුරා විශිෂ්ට සේවාවක් ඉටු කළ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIHS) සියවස් සංවත්සරය නිමිත්තෙන් මහජනතාව දැනුවත් කිරීමේ සෞඛ්‍ය පාගමනක් ඊයේ (10) කළුතර නගරය කේන්ද්‍ර කරගනිමින් අති උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් කළුතර මහ නගර සභා පරිශ්‍රයෙන් ආරම්භ වූ පාගමන කිලෝමීටර් හතරක දුරක් ගමන් කර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය වෙත ළඟා වූ අතර එහිදී මහජනතාවට සෞඛ්‍ය ප්‍රවර්ධන පණිවිඩ, රෝග නිවාරණ උපදෙස් සහ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව පිළිබඳ දැනුවත් කිරීම් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය හා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කළ ප්‍රධානතම අධ්‍යාපන හා පුහුණු ආයතනයක් බවයි. එහි දායකත්වය ශ්‍රී ලංකාවට පමණක් නොව දකුණු හා අග්නිදිග ආසියානු කලාපයට මෙන්ම ජාත්‍යන්තර සෞඛ්‍ය ක්ෂේත්‍රයටද වැදගත් වන බවද ඔහු පෙන්වා දුන්නේය.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, මහජන සෞඛ්‍ය හෙද නිලධාරීන් සහ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිණියන් ඇතුළු ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ මානව සම්පත බිහිකිරීම සඳහා දශක ගණනාවක් පුරා මෙම ආයතනය ඉටු කළ මෙහෙවර ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර සෞඛ්‍ය කීර්තියක් හිමිකර දීමට හේතු වූ බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.

1926 ජූලි 1 වැනිදා රොක්ෆෙලර් පදනමේ දායකත්වයෙන් ආසියාවේ ප්‍රථම සෞඛ්‍ය ඒකකය ලෙස ආරම්භ වූ මෙම ආයතනය, වර්තමානයේ ලෝක සෞඛ්‍ය සංවිධානය සමඟ දැනුම හුවමාරු කරගැනීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසද ක්‍රියාත්මක වේ.

සියවස් සැමරුම් උත්සව මාලාවේ තවත් ප්‍රධාන අංගයක් ලෙස සංවිධානය කළ මෙම පාගමන අතරතුර බෝ නොවන රෝග වළක්වා ගැනීම, ඩෙංගු පාලනය, නිසි පෝෂණය, මාතෘ හා ළමා සෞඛ්‍යය, මානසික සෞඛ්‍යය, පාරිසරික පිරිසිදුකම සහ දුම්වැටි හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකීම පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර සෞඛ්‍ය අධ්‍යාපනික පත්‍රිකාද බෙදාහරිනු ලැබීය.

මෙමස 30 සහ 31 දිනවල මෙන්ම අගෝස්තු 1 වැනිදාද සෞඛ්‍ය පිළිබඳ විශේෂ මහජන ප්‍රදර්ශනයක් සහ තවත් අධ්‍යාපනික හා සමාජීය වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.

සියවස් සැමරුම නිමිත්තෙන් සංවිධානය කළ මෙම සෞඛ්‍ය පාගමන අතීතයේ විශිෂ්ට සෞඛ්‍ය මෙහෙවර අගය කිරීමක් මෙන්ම නව අභියෝග හමුවේ ප්‍රජා මූලික සෞඛ්‍ය සේවාව තවදුරටත් ශක්තිමත් කරමින් "නිරෝගී ශ්‍රී ලංකාවක්" ගොඩනැගීමේ ජාතික අරමුණ යළි තහවුරු කළ ඓතිහාසික අවස්ථාවක් ලෙස සනිටුහන් විය.

මෙම අවස්ථාවට කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ  වෛද්‍ය කේ. නන්තකුමාරන් (Dr. Nanthakumaran),නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චරිත් හෙට්ටිආරච්චි, යන මහත්වරුන්, ලෝක සෞඛ්‍ය සංවිධානය සහ  යුනිසෙෆ් (UNICEF) යන සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් මෙන්ම විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුළු සියළු සෞඛ්‍ය වෘතිතීන් නියෝජනය කරමින් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ  විශාළ පිරිසක් ද එක්ව සිටියහ.