දිට්වා ආපදා තත්ත්වය හේතුවෙන් ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට සිදුවූ බලපෑම් සහ එම තත්ත්වය හේතුවෙන් මතුව ඇති ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (10) විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
මෙහිදී ආපදාවෙන් හානියට පත් මාර්ග, පාලම් සහ අනෙකුත් යටිතල පහසුකම් කඩිනමින් ප්‍රතිසංස්කරණය කර යථා තත්ත්වයට පත් කිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සහ ඉදිරි සංවර්ධන කටයුතු ක්‍රියාත්මක කිරීමේදී මතුවිය හැකි ගැටලු සඳහා කඩිනම් හා තිරසාර විසඳුම් ලබාදීම පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ආපදාවෙන් හානියට පත් යටිතල පහසුකම් කඩිනමින් යථාවත් කිරීම සඳහා අවශ්‍ය සම්බන්ධීකරණය ශක්තිමත් කරමින් කෙටි හා දිගුකාලීන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම පිළිබඳ මෙහිදී එකඟතාවකට පැමිණි අතර, සාකච්ඡාව ඉතා සාර්ථක අන්දමින් අවසන් විය.
මෙම සාකච්ඡාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාරවර නිතිග්‍ය කපිල ජයසේකර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න මහතා, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදත් බලගල්ල මහතා සහ රවීන්ද්‍ර බණ්ඩාර මහතා යන පිරිස් සහභාගි වු අතර, එමෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා, ඌව පළාත් ප්‍රධාන ලේකම්තුමිය, මුදල් අමාත්‍යාංශයේ නිළධාරින්, බදුල්ල දිස්ත්‍රික් ලේකම්තුමා ඇතුළු පළාත් සභාවේ සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන් රැසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


