බණ්ඩාරවෙල විද්‍යාගාර අනතුරට පත් සිසුවිය ඇතුළු පවුලේ දරුවන්ට ජනාධිපති අරමුදලින් මාසික ශිෂ්‍යාධාරයක්

බණ්ඩාරවෙල විද්‍යාගාර අනතුරට පත් සිසුවිය ඇතුළු පවුලේ දරුවන්ට  ජනාධිපති අරමුදලින් මාසික ශිෂ්‍යාධාරයක්
  • SocialShare:

පසුගිය මාර්තු 23 වැනිදා බණ්ඩාරවෙල ධර්මාශෝක විද්‍යාලයේ විද්‍යාගාරයක සිදුවූ අනතුරකින් පිලිස්සුම් තුවාල ලැබූ සිසුවියගේ ඉදිරි ප්‍රතිකාර සහ ඇය ඇතුළු පවුලේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදල මඟින් මාසිකව රුපියල් 25,000ක ශිෂ්‍යාධාරයක් ලබාදීමට පියවර ගෙන තිබේ.

විද්‍යාගාරයේ පිෂ්ඨ පරීක්ෂාවක් (Starch Test) සිදුකරමින් සිටියදී භාවිත කළ රසායන ද්‍රව්‍ය උතුරා ගොස් ගිනි ගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති අතර, අනතුරින් බරපතළ පිලිස්සුම් තුවාල ලැබූ සිසුවිය කොළඹ ජාතික රෝහලේ මාසයකට අධික කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබා තිබේ. මේ වන විට ඇයගේ තුවාල සුව අතට හැරෙමින් පැවතියද තවදුරටත් අඛණ්ඩ වෛද්‍ය ප්‍රතිකාර සහ සාත්තු අවශ්‍යව පවතී.

සිද්ධියෙන් පසු පවුල මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගනිමින් සිසුවියගේ මව ජනාධිපති අරමුදල වෙත සිදු කළ ලිඛිත ඉල්ලීමකට අනුව මෙම සහනය ලබාදීමට රජය තීරණය කර ඇත.

ඒ අනුව ජනාධිපති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂක සිසිර සෙන්පති කහවත්ත මහතා සහ බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් අද (11) සිසුවියගේ නිවසට පැමිණ පවුලේ සාමාජිකයන් හමුවී ශිෂ්‍යාධාරය නිල වශයෙන් පිරිනැමූහ.

අනතුරට පත් සිසුවිය ඇතුළු එම පවුලේ ඉගෙනුම ලබන දරුවන් සිව්දෙනාගේ අධ්‍යාපන කටයුතු සඳහා සෑම මසකම රුපියල් 25,000ක මුදලක් අඛණ්ඩ අධ්‍යාපන ශිෂ්‍යාධාරයක් ලෙස ජනාධිපති අරමුදල මඟින් ලබාදීමට නියමිතය.