රජයේ ඩිජිටල්කරණ ප්‍රතිපත්තිය ප්‍රායෝගිකව ක්‍රියාවට නංවමින්, ශ්‍රී ලංකාවේ සමුද්‍රීය හා වෙරළ පද්ධතිය අපද්‍රව්‍යවලින් තොර සෞඛ්‍යසම්පන්න කලාපයක් බවට පත්කිරීමේ සුවිශේෂී ඩිජිටල් ප්‍රවේශයක් ලෙස "Ocean Watch" වෙබ් පාදක ජංගම යෙදවුම (Mobile App) සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) විසින් නිල වශයෙන් හඳුන්වා දී ඇත.
ඉන්දියන් සාගරය තුළ සොභාදහම විසින් පිහිටුවා ඇති සුවිශේෂී දූපතක් වන ශ්‍රී ලංකාව, 1970 සමුද්‍ර කලාප නීතියට අනුව ගොඩබිම මෙන් අට ගුණයකටත් වඩා විශාල සාගර කලාපයකට සහ කිලෝමීටර් 1700කට ආසන්න වෙරළ තීරයකට හිමිකම් කියනු ලබයි. කෙසේ වෙතත්, මානව ක්‍රියාකාරකම් හේතුවෙන් ගංගා සහ ඇළ මාර්ග ඔස්සේ ගොඩබිමෙන් මහා සාගරයට එකතු වන අපද්‍රව්‍ය නිසා මෙම පරිසර පද්ධතිය දිනෙන් දින දූෂණය වන අතර, එය සාගර ජෛව ප්‍රජාවගේ පැවැත්මට මෙන්ම රටේ ආර්ථිකයට සෘජුවම දායක වන ධීවර හා සංචාරක කර්මාන්තයන්ට ද දැඩි බලපෑම් එල්ල කරමින් පවතී.
මෙම අහිතකර බලපෑම් වළක්වා ගනිමින් වඩාත් ඵලදායී යාන්ත්‍රණයක් සකස් කිරීම සඳහා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් වෙරළබඩ දිස්ත්‍රික්කවල සියලුම මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුළු අදාළ සියලුම ආයතන පාර්ශවකරුවන් කරගනිමින් වෙරළ කළමනාකරණ කමිටු ස්ථාපිත කර, "වෙරළ හා වරාය අපද්‍රව්‍ය කළමණාකරණය සඳහා වන යෝජනාවලිය" සකස් කරන ලදී. එම වගකීම් වඩාත් විධිමත්ව සහ පහසුවෙන් ඉදිරියට රැගෙන යාම සඳහා සුහුරු තාක්ෂණය මුසු කරමින් මෙම "Ocean Watch" ජංගම යෙදවුම නිර්මාණය කර ඇත. මෙමඟින් වෙරළ හා ධීවර වරායයන් ආශ්‍රිතව පවිත්‍රතා වැඩසටහන් සංවිධානය කරන කණ්ඩායම් සහ අපද්‍රව්‍ය කළමනාකරණයට අදාළ සියලුම රාජ්‍ය ආයතන අතර සෘජු සම්බන්ධීකරණය සිදු කෙරෙන අතර, ගොඩබිමෙන් පැමිණෙන අපද්‍රව්‍ය පාලනය සඳහා ඇළ මාර්ග හරහා බාධක යෙදිය යුතු ස්ථාන පිළිබඳ හඳුනාගත් තොරතුරු ද මීට ඇතුළත් කර ඇත.
මීට අමතරව, පවිත්‍ර කළ යුතු වෙරළ තීරයන් පිළිබඳ විස්තර මෙම යෙදවුමෙහි සඳහන් කර ඇති බැවින්, ගිවිසුම්ගත කාලසීමාවක් තුළ ඒවා දිනපතා නඩත්තු කිරීමට කැමති පෞද්ගලික අංශයට සහ රාජ්‍ය නොවන සංවිධානවලට (NGOs) ඒ සඳහා දායක වීමට මෙන්ම පෞද්ගලික අංශයේ ආයතනික සමාජ වගකීම් (CSR) ව්‍යාපෘති මේ සමඟ සම්බන්ධ කිරීමට ද අවකාශය සලසා ඇත.
එසේම, ඕනෑම පුරවැසියෙකුට සමුද්‍ර පරිසරය ආශ්‍රිත පැමිණිලි ක්ෂණිකව යොමු කිරීමට ද මෙමඟින් අවස්ථාව හිමි වේ. රාජ්‍ය පාලන යාන්ත්‍රණයේ කාර්යක්ෂමතාව ඉහළ නංවමින් ස්වාභාවික සම්පත් තිරසාර ලෙස රැකගැනීමට පුරවැසියා සතු බලය ශක්තිමත් කරන මෙම නවීන ඩිජිටල් පියවර ඔස්සේ, මතු පරපුර උදෙසා සෞඛ්‍යසම්පන්න, පිරිසිදු නිල් සාගරයක් සහ වෙරළ තීරයක් උරුම කරදීමේ ජාතික මෙහෙයුමට ප්‍රජාවගේ දායකත්වය අපේක්ෂා කෙරේ.


