දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව ඇති වූ පාරිසරික බලපෑම් හා භූ විද්‍යාත්මක අවදානම් සැලකිල්ලට ගනිමින්, වෙනත් ආරක්ෂිත ස්ථානයකට ස්ථානගත කිරීමට යෝජිත දෙණියාය මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීමට ඉන්දීය රජය එකඟතාව පළ කර තිබේ.
ඒ සඳහාවන අවබෝධතා ගිවිසුම (Memorandum of Understanding) අත්සන් කිරීම අද (13) පෙරවරුවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා යන මහත්වරුන් මේ සදහා අත්සන් තැබිණි.
ඉන්දීය රජයේ Aftermath Cyclone of Ditwah Project (දිට්වා සුළි කුණාටුවෙන් අනතුරුව සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ප්‍රතිසාධන ව්‍යාපෘතිය) යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය මඟින් නව දෙණියාය මූලික රෝහල සඳහා අවශ්‍ය අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ සැපයීමට නියමිත අතර, එමඟින් දෙණියාය සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් සුරක්ෂිත, ගුණාත්මක හා කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් ලබාදීමේ හැකියාව ශක්තිමත් වනු ඇත.
මෙම ගිවිසුම මඟින් නව රෝහල සඳහා අති නවීන හා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාගැනීමට හැකිවීමෙන්, රෝහලේ ප්‍රතිකාර සේවාවන් තවදුරටත් පුළුල් කිරීම, රෝග විනිශ්චය හා ප්‍රතිකාර සේවාවන්ගේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම මෙන්ම මාතර දිස්ත්‍රික්කයේ සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් කාර්යක්ෂම සෞඛ්‍ය සේවාවක් සැපයීමටද වැදගත් දායකත්වයක් සැලසෙනු ඇත.
මෙහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දෙණියාය නව මූලික රෝහල සඳහා රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ඉන්දීය රජය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම, දෙරට අතර දශක ගණනාවක් පුරා පැවති ශක්තිමත් මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන සුවිශේෂී අවස්ථාවක් බව පැවසීය.
එමෙන්ම මෙම අවබෝධතා ගිවිසුම යටතේ දෙණියාය මූලික රෝහල සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ලබාදීම වෙනුවෙන් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ලබාදෙන වටිනා මූල්‍ය දායකත්වය පිළිබඳව ශ්‍රී ලංකා ජනතාව වෙනුවෙන් හෘදයාංගම කෘතඥතාව පළ කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
ස්වාභාවික ආපදා අවදානම හේතුවෙන් දැනට පවතින ස්ථානයෙන් වෙනත් සුදුසු ස්ථානයකට දෙණියාය මූලික රෝහල ස්ථානගත කිරීමට අවශ්‍ය කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර, එම නව රෝහල සඳහා අවශ්‍ය රුපියල් මිලියන 600ක පමණ වටිනාකමකින් යුත් වෛද්‍ය උපකරණ ලබාදීමට ඉන්දීය රජය Aftermath Cyclone Ditwah Project යටතේ එකඟ වී තිබීම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලැබුණු සුවිශේෂී සහයෝගයක් බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කළේය.
මෙම වටිනා පරිත්‍යාගය මඟින් දෙණියාය සහ අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් ගුණාත්මක, කාර්යක්ෂම සහ නවීන සෞඛ්‍ය සේවාවන් ලබාදීම සඳහා නව රෝහලේ සේවා ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවෙනු ඇතැයි ද අමාත්‍යවරයා පැවසීය.
ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීම සහ ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම වෙනුවෙන් ඉන්දීය රජය අඛණ්ඩව ලබාදෙන මිත්‍රශීලී සහයෝගීතාව මෙම අවබෝධතා ගිවිසුම මඟින් නැවතත් තහවුරු වන බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
වත්මන් දෙණියාය මූලික රෝහල පිහිටා ඇති භූමිය නායයෑම් ඇතුළු ස්වාභාවික ආපදා අවදානමට ලක්ව ඇති බැවින් හා රෝහල් සේවාවන් පුළුල් කිරීමට ඉඩකඩ මදිවීමත් සැලකිල්ලට ගනිමින් රෝහල ආරක්ෂිත නව ස්ථානයකට ස්ථානගත කිරීම සෞඛ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස රජය ක්‍රියාත්මක කරමින් සිටී.
ඒ අනූව නව ස්ථානයක ඇඳන් 300කින් සමන්විත නවීන මූලික රෝහලක් ඉදිකිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
දෙණියාය නගරයට කිලෝමීටර් තුනක් පමණ දුරින් පිහිටි හැන්ඩ්ෆර්ඩ් වතුයායෙන් (Handford Estate) සුදුසු ඉඩමක් හඳුනාගෙන ඇති අතර, භූ විද්‍යාත්මක සහ තාක්ෂණික ඇගයීම්වලින් අනතුරුව එම ස්ථානය නව රෝහල ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇත.
රුපියල් මිලියන 6,000ක (රුපියල් බිලියන 6ක) ආයෝජනයක් යටතේ අදියර දෙකකින් මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.
පළමු අදියර යටතේ පිරිමි, කාන්තා, ළමා හා මාතෘ වාට්ටු, ශල්‍යාගාර, දැඩි සත්කාර ඒකක, හදිසි අනතුරු සහ හදිසි ප්‍රතිකාර ඒකකය සහ රුධිර බැංකුවක් ඇතුළත් වේ.
මෙම නව්‍ය සැලසුමට පොදු ප්‍රවාහනයෙන් පැමිණෙන රෝගීන් සඳහා වෙනම ප්‍රවාහන ප්‍රවේශයක් සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සඳහා නිල නිවාස ද ඇතුළත් වේ.
මෙම වර්ෂයේ දී ඉදිකිරීම් ආරම්භ කර වසර තුනක් ඇතුළත අවසන් කිරීමට අපේක්ෂා කෙරේ. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී රෝහලේ අනාගත අවශ්‍යතා ද සැලකිල්ලට ගනිමින් රෝගී ධාරිතාව තවදුරටත් පුළුල් කළ හැකි ආකාරයෙන් සැලසුම් සකස් කිරීමට ද අවධානය යොමු කර ඇති අතර නවීන තාක්ෂණයෙන් සමන්විත, පරිසර හිතකාමී සහ ආපදා ඔරොත්තු දෙන සෞඛ්‍ය ආයතනයක් ලෙස මෙම රෝහල සංවර්ධනය කිරීම වත්මන් රජයේ අපේක්ෂාවයි.
මෙම අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලාල් ප්‍රේමනාත්,දකුණු පළාත් ප්‍රධාන ලේකම් චන්දිම c. මුහන්දිරම්ගේ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන,අධ්‍යක්ෂිකා වෛද්‍ය ජානකී විදානපතිරණ,දෙණියාය මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය මලල රාජපක්ෂ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් (First Secretary) නව්‍යා සිංග්ලා යන මහත්ම මහත්මීන් ඇතුළු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.


