සියලුම රාජ්‍ය සේවකයන් අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කරන්න - ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය

සියලුම රාජ්‍ය සේවකයන් අග්‍රහාර දත්ත පද්ධතිය යාවත්කාලීන කරන්න - ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය
  • SocialShare:

අග්‍රහාර රක්ෂණ හිමියන්ට හොඳ සේවාවක් සැපයීමට පවත්නා දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට අවශ්‍ය බව හඳුනාගනිමින් ඒ සදහා අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇතැයිද  සියලුම රාජ්‍ය සේවකයන්ට එම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීමට ආරාධනා කරන බවද  ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපති ආචාර්ය විශාඛා වනසිංහ මහත්මිය පවසයි.

ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය මේ බව පැවසුවේ අද (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අග්‍රහාර රක්ෂණාවරණයේ දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම පිළිබඳව දැනුවත් කිරිම සදහා පැවති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

අප්‍රේල් 01 වනදා සිට මෙම දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සිදුවන බවද මේ වන විට ලක්ෂ 06කට ආසන්න නිලධාරීන් දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සඳහා උදවු වී ඇති බව පැවසූ ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය එහිදී ඔවුන්ට ස්තුතිය පළ කළාය.

තවත් යාවත්කාලීන කිරීම් සිදුකිරීමට පිරිසක් ඇතැයිද මේ මාසයේ 31 වනදා දක්වා පමණක් කාලය දීර්ඝ කර ඇති බැවින් අවසන් දවස් වෙනකල් නොසිට හැකි ඉක්මණින් දැනුවත් කිරීම් සිදුකළ පරිදි දත්ත පද්ධතිය යාවත්කාලීන කිරීම සිදුකරන ලෙස ඉල්ලා සිටියාය.

රාජ්‍ය ආයතන 1900ක පමණ අග්‍රහාර සාමාජිකයන් සේවයේ යෙදෙන බවද එම ආයතනවල අග්‍රහාර සම්බන්ධීකරණ නිලධාරීන් නම්කර එවන ලෙසට එම ආයතන වලට ලිඛිතව දැනුම් දීමක් සිදුකළ බවද පැවසුවාය. ඒ සම්බන්ධයෙන්ද යහපත් ප්‍රතිචාර ලැබී ඇතැයි සදහන් කළාය.

මෙතෙක්එලෙස නම් කිරීම් නොකළ ආයතන වලින්ද සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලා සිටි ජාතික රක්ෂණ භාර අරමුදලේ සභාපතිනිය නිලධාරීන් මෙම දත්ත පද්ධතියට එකතු කරන දත්තවල නිවැරදිභාවය අදාළ ආයතනයේ අග්‍රහාර සම්බන්ධ නිලධාරියා සහ ආයතන ප්‍රධානියා විසින් තහවුරු කළ යුතු බවද එසේ කිරීම මගින් මෙම දත්ත පද්ධතිය සාර්ථකව ඉදිරියට ගෙනයා හැකි බවද පැවසුවාය.

සෑම රාජ්‍ය ආයතනයකටම මේ සදහා උදවු වන ලෙස ඉල්ලා සිටි සභාපතිවරිය ඉදිරියේදී මෙම දත්ත පද්ධතිය හරහා පමණක් ප්‍රතිලාභ ලබාදීමට බලාපොරොත්තු වන බවද පැවසුවාය.