වී අලෙවි මණ්ඩලය මඟින් 2026 යල කන්නයේ රජයේ සහතික මිලට වී මිලදී ගැනීමේ වැඩසටහන අද (13) අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.
ඒ අනුව, ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ කටයුතු දිවයිනේ වී වගා කරන ප්‍රදේශ ආවරණය වන පරිදි අද දින සිට ක්‍රියාත්මක කෙරේ.
2026.07.13 දින වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයේ ගබඩා විවෘත කළ ස්ථාන ලෙස වව්නියාව දිස්ත්‍රික්කයේ වැලිපොල, කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පන්නන්කන්ඩි, මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවල, මඩකලපුව දිස්ත්‍රික්කයේ කරඩියනාරු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල, මාන්තොට්ටම, කරුන්කාඩු, අල්මුනීරා, මිහිඳුපුර, පාලම් කඳවුර සහ දමන යන ප්‍රදේශවල පිහිටි ගබඩා හඳුනාගෙන ඇත. මීට අමතරව වී මිලදී ගැනීමේ කටයුතු වීරවිල ප්‍රදේශයෙන් ද ආරම්භ කෙරිණි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වී අලෙවි මණ්ඩලයේ සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, 2026 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවයි.
මෙවර අදාළ ප්‍රමිතියට අනුව සකස් කර වී මිලදී ගැනීමට කටයුතු කරන බවත්, ඒ අනුව නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට ද, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට ද, කිරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට ද මිලදී ගැනීමට නියමිත බවත් ඒ මහතා පැවසීය.
වී මිලදී ගැනීම සඳහා මේ වන විට වී අලෙවි මණ්ඩලය සතු ගබඩා 148ක් පමණ සූදානම් කර ඇති බවත්, අවශ්‍යතාවය අනුව අතිරේක ගබඩා පහසුකම් පෞද්ගලික අංශය සහ අනෙකුත් ආයතන සමඟ එක්ව ලබා ගැනීමට කටයුතු කරන බවත් සභාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම, පසුගිය කන්නවලදී වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගත් වී තොගවලින් කොටසක් සතොස ආයතනය මඟින් කුඩා හා මධ්‍ය පරිමාණ මෝල් හිමියන් හරහා සහල් බවට පත් කර වෙළෙඳපොළට නිකුත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බවද සඳහන් කළේය.
2026 යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන සඳහා රජය විසින් රුපියල් මිලියන 16,000ක මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම ප්‍රතිපාදන යටතේ වී අලෙවි මණ්ඩලය වෙත වෙන් කර ඇති රුපියල් මිලියන 6,000ක මුදල යොදා ගනිමින් ගොවීන්ගෙන් වී මිලදී ගැනීමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට වී අලෙවි මණ්ඩලය සැලසුම් කර ඇත.


