න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් රැකීමට ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් කටයුතු කරනවා - විද්‍යා හා තාක්ෂණ ඇමති

න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් රැකීමට ශ්‍රී ලංකාව  දැඩි කැපවීමකින් කටයුතු කරනවා - විද්‍යා හා තාක්ෂණ ඇමති
  • SocialShare:

න්‍යෂ්ටික ආරක්ෂාව සහ සුරක්ෂිතභාවය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතීන් පවත්වා ගැනීමට ශ්‍රී ලංකාව දැඩි කැපවීමකින් කටයුතු කරන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති නියාමන සභාව (SLAERC) සහ ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) එක්ව සංවිධානය කළ "න්‍යෂ්ටික අධිකරණ වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික හැඳින්වීමේ කලාපීය පුහුණු වැඩමුළුව" ආරම්භ කිරීමේ අවස්ථාවට  ඊයේ(13)එක්වෙමිනි. කොළඹ රාමඩා හෝටලයේදී ආරම්භ වූ මෙම වැඩමුළුව ජූලි 17 දක්වා පැවැත්වේ.

ඒකාබද්ධ න්‍යෂ්ටික ආරක්ෂක තිරසර සැලැස්ම (INSSP) යටතේ සංවිධානය කර ඇති මෙම වැඩසටහනේ අරමුණ වන්නේ, න්‍යෂ්ටික හෝ වෙනත් විකිරණශීලී ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ හා අනවසර ක්‍රියාකාරකම් සම්බන්ධ විමර්ශන සඳහා අවශ්‍ය න්‍යෂ්ටික අධිකරණ වෛද්‍ය විද්‍යා දැනුම සහ ජාතික ප්‍රතිචාර හැකියාවන් ශක්තිමත් කිරීමයි.

අමාත්‍යවරයා සඳහන් කළේ, න්‍යෂ්ටික හා විකිරණශීලී ද්‍රව්‍යවල අනවසර භාවිතය සම්බන්ධ අවදානම් පවතින වර්තමාන ලෝකයේ, න්‍යෂ්ටික අධිකරණ වෛද්‍ය විද්‍යාව සිද්ධීන් විමර්ශනය කිරීම, ද්‍රව්‍යවල මූලාශ්‍ර හඳුනාගැනීම සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට සහාය වීම සඳහා අත්‍යවශ්‍ය මෙවලමක් බවයි.

මෙවැනි කලාපීය පුහුණු වැඩසටහන් මඟින් න්‍යෂ්ටික ආරක්ෂාව ශක්තිමත් කිරීම, රටවල් අතර සහයෝගීතාව වර්ධනය කිරීම සහ න්‍යෂ්ටික ද්‍රව්‍ය සම්බන්ධ තර්ජනවලට සූදානම ඉහළ නැංවීම සඳහා වැදගත් දායකත්වයක් සැපයෙන බවද ඔහු අවධාරණය කළේය.