“මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අදින් ඇරඹේ

“මුල් ළමාවිය රැකවරණය සහ සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අදින් ඇරඹේ
  • SocialShare:

 "විකසිත වන ළමා ලොවට – හිරු කිරණකි සතුට පවුල" යන තේමාව යටතේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය අද (14) සිට ජූලි 20 දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන බව කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසයි.

ඊයේ (13) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරිය සඳහන් කළේ, ශාරීරික, මනෝ-සමාජීය සහ බුද්ධිමය සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකීය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම මෙම ජාතික සතියේ ප්‍රධාන අරමුණ බවයි.

ජාතික සතියට සමගාමීව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් දිවයින පුරා විවිධ දැනුවත් කිරීමේ සහ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබේ.

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ දැනුමෙන් සන්නද්ධ ප්‍රජාවක් බිහිකිරීම, එම ක්ෂේත්‍රයට අදාළ ගුණාත්මක සේවාවන් ලබාගැනීමේ වැදගත්කම සමාජයට අවබෝධ කරදීම සහ දෙමාපියන්ගේ සක්‍රීය දායකත්වය වර්ධනය කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණු අතර වේ.

අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ, "ඔබේ දරුවා වෙනුවෙන් ඔබ අවදි වන්න" යන පණිවිඩය ඔස්සේ දෙමාපියන් සහ ප්‍රජාව මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීම මෙම ජාතික සතියේ ප්‍රධාන අපේක්ෂාව බවයි.