බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පිටත්වීමේ පර්යන්තයේ මගී ධාරිතාව වැඩි කිරීම සඳහා නව යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ නව ගොඩනැඟිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව M/s Maga Engineering (Pvt) Ltd. වෙත පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් පිටත්වන ගුවන් මගීන් රැඳී සිටින පර්යන්තයේ ධාරිතාව පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය යටතේ පරීක්ෂා කිරීමේ කවුළු (Check-in counters) 36ක් සහ මගී පර්යන්තයේ සිට ගුවන් යානා වෙත පිවිසීම සඳහා වන දොරටු (Gates) 6ක් ස්ථාපිත කිරීමට නියමිතය.
මෙම ඉදිකිරීම් කටයුතු සඳහා සුදුසු කොන්ත්‍රාත්කරුවෙකු තෝරා ගැනීම සඳහා ජාත්‍යන්තර තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමවේදය යටතේ ලංසු කැඳවා ඇති අතර, ඒ සඳහා ලංසු තුනක් ඉදිරිපත් වී තිබේ.
ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ මත, සාරානුකූලව ප්‍රතිචාරාත්මක අවම ලංසුකරු ලෙස හඳුනාගත් M/s Maga Engineering (Pvt) Ltd. වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට තීරණය කර ඇත.
ඒ අනුව, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පහත සඳහන් මුදලට කොන්ත්‍රාත්තුව පිරිනැමීම අනුමත කර තිබේ.
- ඇමරිකානු ඩොලර් මිලියන 7.26ක් (එකතු කළ අගය මත බදු රහිතව)
- රුපියල් බිලියන 3.77ක් (එකතු කළ අගය මත බදු රහිතව)
මෙම ව්‍යාපෘතිය මඟින් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ මගී සේවා පහසුකම් වැඩිදියුණු කිරීම, ගුවන් මගීන්ට වඩා කාර්යක්ෂම සේවාවක් සැපයීම සහ අනාගත ගුවන් ගමන් ඉල්ලුමට සරිලන පර්යන්ත ධාරිතාවක් ගොඩනැඟීම අපේක්ෂා කෙරේ.


