මූල්‍ය අපරාධ මැඩපැවැත්වීම සඳහා 2026-2030 ජාතික ප්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

මූල්‍ය අපරාධ මැඩපැවැත්වීම සඳහා 2026-2030 ජාතික ප්‍රතිපත්තියට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
  • SocialShare:

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වැනි මූල්‍ය අපරාධ අවදානම් මැඩපැවැත්වීම සඳහා සකස් කරන ලද “මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය මැඩපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය 2026-2030” ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය වැනි මූල්‍ය අපරාධ හේතුවෙන් ශ්‍රී ලංකාවේ ආර්ථිකයට මෙන්ම ගෝලීය මූල්‍ය පද්ධතියට ද දැඩි අවදානම් මතුව තිබේ.
සීග්‍ර තාක්ෂණික දියුණුවත් සමඟ මූල්‍ය ගනුදෙනු වඩාත් සංකීර්ණ වී ඇති අතර, අපරාධකරුවන් විසින් අපරාධවලින් උපයාගත් මුදල් සහ වත්කම් සැඟවීම සඳහා භාවිත කරන නව ක්‍රම හඳුනා ගැනීම හා ඒවා වැළැක්වීම අභියෝගාත්මක කාර්යයක් බවට පත්ව ඇත.

මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින්, මූල්‍ය අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රතිපත්ති සම්පාදනය කරන ආයතනයක් වන මූල්‍ය කාර්ය සාධක බලකාය (Financial Action Task Force - FATF) විසින් නියම කර ඇති ප්‍රමිතීන්ට අනුකූලව ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් 2024/25 කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ තුන්වන ජාතික අවදානම් ඇගයීම සිදු කර ඇත.

එම ජාතික අවදානම් ඇගයීමේදී හඳුනාගත් අවදානම් කළමනාකරණය කිරීම සඳහා “මුදල් විශුද්ධිකරණය වැළැක්වීම, ත්‍රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සහ සමූල ඝාතක අවි සංගුණනය සඳහා මූල්‍යනය මැඩපැවැත්වීම පිළිබඳ ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්තිය 2026-2030” සකස් කර ඇත.

මෙම ජාතික ප්‍රතිපත්තිය 2026 සිට 2030 දක්වා කාලසීමාව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

මෙම ප්‍රතිපත්තිය මඟින් මූල්‍ය අපරාධ අවදානම් අවම කිරීම, ජාත්‍යන්තර මූල්‍ය ප්‍රමිතීන්ට අනුකූල පද්ධති ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතියේ විශ්වසනීයත්වය තහවුරු කිරීම අපේක්ෂා කෙරේ.