ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර මාධ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගීතාව, වෘත්තීය සබඳතා සහ දැනුම් හුවමාරුව තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමය (SLIMFA) සංවිධානය කළ "SLIMFA මාධ්‍ය සම්මන්ත්‍රණය 2026" පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණි.
"වෙනස්වන ලෝකයක අදාළත්වය රැක ගැනීම" (Staying Relevant in a Changing World) යන තේමාව යටතේ පැවති මෙම සම්මන්ත්‍රණයේ ප්‍රධාන අරමුණ වූයේ ශ්‍රී ලංකා හා ඉන්දියානු මාධ්‍ය වෘත්තිකයන් අතර සහයෝගීතාව වර්ධනය කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම සහ වේගයෙන් වෙනස් වන මාධ්‍ය පරිසරයට අදාළ නව දැනුම හා අවබෝධය ගොඩනැගීමයි.
සම්මන්ත්‍රණයේ සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න මහත්මිය එක් වූ අතර, පස්වරුවේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද සහභාගී විය.
අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහිදී ප්‍රකාශ කළේ, වසර දෙකක් වැනි කෙටි කාලයක් තුළ ශ්‍රී ලංකා–ඉන්දියා මාධ්‍ය මිත්‍රත්ව සංගමය දෙරටේ මාධ්‍යවේදීන් හා මාධ්‍ය වෘත්තිකයන් අතර දැනුම, අත්දැකීම් සහ වෘත්තීය සබඳතා ශක්තිමත් කරන වැදගත් වේදිකාවක් බවට පත්ව ඇති බවයි.
කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් තාක්ෂණය සහ සමාජ මාධ්‍ය හේතුවෙන් ජනතාව තොරතුරු භාවිත කරන ආකාරය ශීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, වර්තමානයේ ප්‍රේක්ෂකයන් පුවත් ලබාගන්නා පාර්ශ්වයක් පමණක් නොව ඒවා විමර්ශනය කරන, සත්‍යාපනය කරන සහ ඇතැම් අවස්ථාවලදී පුවත් නිර්මාණයට ද දායක වන පාර්ශ්වයක් බවට පත්ව ඇති බව සඳහන් කළේය.
එහෙත් මෙම සියලු වෙනස්කම් මධ්‍යයේ ද ජනතාව මාධ්‍යයෙන් අපේක්ෂා කරන්නේ නිවැරදි, සාධාරණ, ස්වාධීන සහ වගකීම් සහගත තොරතුරු බව අවධාරණය කළ අමාත්‍යවරයා, වැරදි හා නොමඟ යවන තොරතුරු ඉතා කෙටි කාලයකින් ලොව පුරා ව්‍යාප්ත වන වත්මන් පසුබිම තුළ වෘත්තීය මාධ්‍යකරණයේ වගකීම තවදුරටත් ඉහළ ගොස් ඇති බවත්, මාධ්‍ය ආයතනවල ප්‍රධානතම වත්කම විශ්වසනීයත්වය බවත් සඳහන් කළේය.
ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් සඳහා ස්වාධීන, වගකීම් සහගත හා වෘත්තීය මාධ්‍ය පද්ධතියක් අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රජයේ වගකීම මාධ්‍යයට උපදෙස් ලබාදීම නොව ගුණාත්මක මාධ්‍යකරණය වර්ධනය විය හැකි පරිසරයක් නිර්මාණය කිරීම බව ද ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටටම එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බවත්, දැනුම හා අත්දැකීම් හුවමාරුව තුළින් දෙරටේම මාධ්‍ය ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් වන බවත් හෙතෙම සඳහන් කළේය. එමෙන්ම තරුණ මාධ්‍යවේදීන්ගේ අවංකභාවය, වෘත්තීයභාවය, ධෛර්යය සහ මහජන යහපත වෙනුවෙන් ඇති කැපවීම අනාගත මාධ්‍යයේ ගුණාත්මකභාවය තීරණය කරන බව ද අවධාරණය කළේය.
මෙම සම්මන්ත්‍රණයට ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ මාධ්‍යවේදීන්, සංස්කාරකවරුන්, මාධ්‍ය ආයතන ප්‍රධානීන්, ඩිජිටල් මාධ්‍ය නිර්මාණකරුවන්, විද්වතුන්, මාධ්‍ය වෘත්තිකයන් සහ මාධ්‍ය අධ්‍යයනයේ නිරත සිසු සිසුවියන් රැසක් එක් වූහ.
සම්මන්ත්‍රණයේදී කෘත්‍රිම බුද්ධිය (AI), ඩිජිටල් පරිවර්තනය, ප්‍රේක්ෂක හැසිරීම්වල වෙනස්කම්, මාධ්‍ය විශ්වසනීයත්වය, සත්‍ය තොරතුරු තහවුරු කිරීම සහ අනාගත මාධ්‍ය භාවිතය පිළිබඳ පුළුල් සාකච්ඡා පැවැති අතර, තාක්ෂණික පරිවර්තනයන් හමුවේ නිවැරදිභාවය, ස්වාධීනත්වය, වගකීම සහ මහජන විශ්වාසය ආරක්ෂා කර ගනිමින් නව අභියෝගවලට මුහුණ දීමේ අවශ්‍යතාව පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා, ශ්‍රී ලංකා–ඉන්දියානු මාධ්‍ය මිත්‍රත්ව සංගමයේ සභාපති හා ප්‍රවීණ මාධ්‍යවේදී නිස්තාර් කැසිම් මහතා ඇතුළු දෙරටේ මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නියෝජිතයෝ රැසක් සහභාගී වූහ.


