මෙම වසර අවසන් වන විට කැත් ලැබ්ස් සංඛ්‍යාව 26 දක්වා ඉහළට - කැබිනට් ප්‍රකාශක

මෙම වසර අවසන් වන විට කැත් ලැබ්ස් සංඛ්‍යාව 26 දක්වා ඉහළට - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

රජයේ රෝහල්වල දැනට ක්‍රියාත්මක කැත් ලැබ්ස් 10ට අමතරව මෙම වසර තුළ තවත් කැත් ලැබ්ස් 16ක් ස්ථාපිත කිරීමත් සමඟ වසර අවසන් වන විට සමස්ත කැත් ලැබ්ස් සංඛ්‍යාව 26 දක්වා ඉහළ යනු ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

ඒ අනුව කොළඹ ජාතික රෝහලේ කැත් ලැබ්ස් සංඛ්‍යාව 4 දක්වා ඉහළ නැංවීමට නියමිත බවත්, එමඟින් දැනට මාස 9ක සිට වසරක පමණ කාලයක් දක්වා පවතින හෘද කැත් පරීක්ෂණ සහ ප්‍රතිකාර සඳහා වන පොරොත්තු ලේඛනය මාසයක පමණ කාලයක් දක්වා අඩු කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවසීය.

නව කැත් ලැබ්ස් 16 අතරින් ඇතැම් ඒවා රජයේ අරමුදල් මගින්ද, ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සහ ජයිකා (JICA) ණය ආධාර යටතේද ලබාදෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, එම වියදම් ක්‍රමානුකූලව භාණ්ඩාගාරය මගින් පියවනු ඇති බවද ප්‍රකාශ කළේය.

දැනට පවතින කැත් ලැබ්ස් භාවිත කරමින් විශාල කැපවීමකින් රෝගීන්ට ප්‍රතිකාර ලබාදුන් විශේෂඥ වෛද්‍යවරුන්, හෙද කාර්ය මණ්ඩලය සහ අනෙකුත් සෞඛ්‍ය සේවකයින්ට සිය ස්තුතිය පළ කළ අමාත්‍යවරයා, ඔවුන් තාක්ෂණික ගැටලු සහ කාර්ය මණ්ඩල හිඟය මධ්‍යයේද සැලකිය යුතු සේවාවක් ඉටු කරමින් පොරොත්තු ලේඛන අවම කිරීමට දායක වූ බව සඳහන් කළේය.

නව කැත් ලැබ්ස් සහ අනෙකුත් වෛද්‍ය උපකරණ ලබාදීමත් සමඟ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට වඩාත් කාර්යක්ෂමව සේවය සැපයීමට හැකි වන අතර, එමඟින් ජනතාවට වඩාත් ගුණාත්මක හා කඩිනම් හෘද රෝග ප්‍රතිකාර සේවාවක් ලබාදීමට හැකි වනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.