යල කන්නයේ ගොවි සුබසාධනයට රුපියල් මිලියන 46,006ක් - නලින්ද ජයතිස්ස

යල කන්නයේ ගොවි සුබසාධනයට රුපියල් මිලියන 46,006ක් - නලින්ද ජයතිස්ස
  • SocialShare:

ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා පොහොර සහනාධාර, වාරි ජල පහසුකම් සහ වගා හානි සඳහා වන්දි ඇතුළු සහන රැසක් ලබාදී ඇති බවත්, යල කන්නයේ පමණක් ගොවි ජනතාවගේ සුබසාධනය වෙනුවෙන් රජය රුපියල් මිලියන 46,006ක ප්‍රතිපාදන යොදවා ඇතැයි කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (14) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී, යල කන්නයට අදාළ වී මිලදී ගැනීම පිළිබඳ මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.

යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන පසුගියදා(13) ආරම්භ කළ බවත් වී අලෙවි මණ්ඩලයට අයත් ගබඩා 148ක් යොදාගෙන වී මිලදී ගැනීම සිදු කරන බවද පැවසීය.

මේ වන විට වව්නියාව දිස්ත්‍රික්කයේ වැලිපොළ, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ පන්නන්කන්ඩි, මුලතිව් දිස්ත්‍රික්කයේ මුල්ලියාවලෙයි, මඩකලපුව දිස්ත්‍රික්කයේ කදිරනාරු, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගෝමරන්කඩවල සහ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගල, මාන්තෝට්ටම, කරුන්කාඩු, අල්මුනෙයිරා, මිහිඳුපුර, පාලම්කඩවල හා දමන යන ප්‍රදේශවල පිහිටි ගබඩාවල වී මිලදී ගැනීම ආරම්භ කර ඇතැයිද කීය.

දැනට එක් ගොවියෙකුගෙන් උපරිම වශයෙන් වී කිලෝග්‍රෑම් 2,500ක් මිලදී ගන්නා බවත් වී මිලදී ගැනීම් ආරම්භ කළ ජූලි 13 වැනිදා පමණක් රුපියල් මිලියන 3කට ආසන්න වටිනාකමකින් යුතු වී කිලෝග්‍රෑම් 25,409ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගෙන ඇති බවත් හෙතෙම සඳහන් කළේය. රජය සමස්තයක් ලෙස මෙට්‍රික් ටොන් 39,500ක පමණ වී ප්‍රමාණයක් මිලදී ගැනීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

රජය විසින් නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කටත්, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කටත්, කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කටත් මිලදී ගැනීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.

වී ගබඩා කිරීම සඳහා රජයේ පහසුකම් ප්‍රමාණවත් නොවන අවස්ථාවලදී පෞද්ගලික අංශයේ ගබඩා තාවකාලිකව ලබාගෙන වී ගබඩා කිරීමට පියවර ගන්නා බවද ඔහු සඳහන් කළේය.

වී මිලදී ගැනීමේදී හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ හා පුහුණු ආයතනයේ දත්ත සහ නිර්දේශ සැලකිල්ලට ගන්නා බව පැවසූ අමාත්‍යවරයා, ගොවීන්ගේ නිෂ්පාදන පිරිවැය අවම කිරීම සඳහා රජය පොහොර සහනාධාර, වාරි ජල පහසුකම් සහ වගා හානි සඳහා වන්දි ඇතුළු සහන රැසක් ලබාදී ඇති බව අවධාරණය කළේය.

රජයේ සහතික මිල යටතේ වී මිලදී ගැනීම සඳහා වී අලෙවි මණ්ඩලයට රුපියල් මිලියන 6,000ක් වෙන්කර ඇති අතර, පෞද්ගලික අංශය හරහා ඕඩපණ ණය ක්‍රමය යටතේ වී මිලදී ගැනීම සඳහා තවත් රුපියල් මිලියන 10,000ක් වෙන්කර ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.