මධ්‍යම තැපැල් හුවමාරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට

මධ්‍යම තැපැල් හුවමාරුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ හදිසි නිරීක්ෂණයට
  • SocialShare:
  • ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ  සේවයේ ස්ථීර කිරීමට පියවර...
  • නව ආදේශක තැපැල් සහායකයින් 1000 ක් ලියාපදිංචියටත් අනුමැතිය...
  • චීන මහජන සමූහාණ්ඩුවේ පරිත්‍යාගයක් වන මධ්‍යම තැපැල් හුවමාරු පැරණි ගොඩනැගිල්ල නවීකරණයටත් අමාත්‍යවරයාගේ අවධානය...

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවා කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ඊයේ පස්වරුවේ (29) හදිසි නිරීක්ෂණයට ලක් කරන ලදි.  නිරීක්ෂණයෙන් අනතුරුව මධ්‍යම තැපැල් හුවමාරුවේ වත්මන් කටයුතු, ඉදිරි පියවර සහ පවතින ගැටළු පිළිබඳ නිලධාරීන් සහ සේවක කාර්ය මණ්ඩලය සමග පැවැති විශේෂ හමුවක දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු දක්වන ලදි.

ශක්තිමත් පදනමක් යටතේ රට ස්ථාවර කිරීම රජයේ ප්‍රමුඛ අරමූණ බැවින් එම අරමුණ යටතේ තැපැල් දෙපාර්තමේන්තුව ද මෙහෙයවීමට කටයුතු කරන කරන බව මෙහි දී අවධාරණය කළ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සමස්ත රාජ්‍ය සේවාවේ මෙන්ම තැපැල් දෙපාර්තමේන්තුවේ ද  තිබෙන පොදු ප්‍රශ්ණයක් වන සේවක හිඟය සහ ප්‍රවාහන ගැටළු නිරාකරණය සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බව පැවසීය. ඒ යටතේ දැනට ලියාපදිංචිව සිටින ආදේශක තැපැල් සහායකයින් 1000 කගේ සේවය ස්ථීර කිරීමටත්, අළුතින් ආදේශක තැපැල් සහායකයින් 1000 ක් ලියාපදිංචි කර ගැනීමටත් අනුමැතිය ලබාගත් බව ද පැවසී ය. ඒ අනුව අදාළ බඳවා ගැනීම් සඳහා අවශ්‍ය ඉදිරි කටයුතු නුදුරේ දීම සිදු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

වසර 200 ක පමණ ඉතිහාසයක් සහිත තැපැල් සේවාවේ උපතැපැල් කාර්යාල දක්වා ආදායම් ඉළක්ක ලබාදීම, නව සේවාවන් හදුන්වා දීම,  නව තැපැල් කාර්යාල ආරම්භ කිරීම හා නවීකරණය කිරීම ආදී වශයෙන් වූ නවීකරණ කටයුතු සිදු කරමින් පවතින බවත්, චීන මහජන සමූහාණ්ඩුවේ පරිත්‍යාගයක් වශයෙන් ලැබුනු මධ්‍යම තැපැල් හුවමාරු ප්‍රධාන ගොඩනැගිල්ල නවීකරණයට ලක් කිරීමට සහ නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට සහාය ලබාගැනීම පිණිස චීන තානාපති තුමා සමග ඉදිරියේ දී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා මෙහි දී පැවැසී ය.

මධ්‍යම තැපැල් හුවමාරුව දුෂ්කරතා රාශියක් සහ නොවිසදුණු ගැටළු රැසක් මැද ක්‍රියාත්මක වන බව ද ඒ අතර, වැඩ අධික, කාර්යබහුල, ක්‍රීයාශීලි, ස්ථානයක් බව පැවසූ අමාත්‍යවරයා මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් දෙපාර්තමේන්තුවේ මෙන්ම රාජ්‍යයේ කේන්ද්‍රස්ථානයක් බව ද පෙන්වා දෙන ලදි. තැපැල් සේවයට අවශ්‍ය කරන වටිනාකම, ගරුත්වය සහ නිසි තැන ලබාදෙමින් නිලධාරින් සමග සාකච්ඡා කරමින් ක්‍රමාණුකූලව තැපැල් සේවාව ගොඩනැංවීම තම අරමුණ බවත් ඒ සඳහා යම් කාලයක් ගත වනු ඇති බව ද පැවැසී ය. 

ශක්තිමත් රාජ්‍ය සේවාවක් මෙරටට අවශ්‍ය වන බවත්, රටේ ආදායම දුර්වල මට්ටමක පවතින බැවින් ආර්ථිකයේ වර්ධනය සමඟ බඳවා ගැනීම් ඉහළ නැංවීමට කටයුතු කළ හැකි වනු ඇති බව ද පෙන්වා දුන් අමාත්‍යවරයා රාජ්‍ය සේවාවේ පැවැති අවිධිමත් බඳවා ගැනීම් ක්‍රමවේදය විදිමත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම් ද සිදු කරන බැවින් රජයේ නව වැඩපිළිවෙල තේරුම්ගෙන, අවබෝධයකින්  යුතුව සියලු දෙනා එක්ව කටයුතු කර තැපැල් සේවාව නඟා සිටුවීමට අත්වැල් බැඳ ගන්නා ලෙස ද මෙහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කරන ලදි.  ‍‍‍‍‍‍‍

මධ්‍යම තැපැල් හුවමාරුවේ මාසික ආදායම රුපියල් මිලියන 277 ක් පමණ වන බවත්, එම මුදලින් මිලියන 200 ක පමණ ආදායමක් ලැ‌බෙනුයේ ලිපි ආදායම් මගින් බවත් මෙහි දී පෙන්වා දුන් මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරිනී මනෝජනී නානායක්කාර මහත්මිය වත්මන් ආදායම් උත්පාදන මාර්ග වී ඇත්තේ නවීන ක්‍රමවේදයන් වන කුරියර් සහ පාර්සල් සේවාවන් ඇතුළු ඊ-තැපැල් සේවාවන් වන බැවින් නවීන තැපැල් සේවාව නවීන තාක්ෂණයෙන් බලගැන්වීමට අවශ්‍ය පසුබිම ඉහළ නැංවීමට කටයුතු සිදු කළ යුතු බව මෙහිදී පෙන්වා දෙන ලදි. 

මෙහිදී මෙරට තැපැල් අංශය, පාර්සල් අංශය (විදේශ), ජාත්‍යන්තර තැපෑල, ස්කෑන් අංශය, ප්‍රවාහන අංශය ඇතුළු මධ්‍යම තැපැල් හුවමාරුවේ අංශ කිහිපයක් අමාත්‍යවරයා සිය නිරික්ෂණයට ලක් කළ අතර, සේවයේ නියුතු කාර්ය මණ්ඩල ගැටළු, අදහස්, යෝජනා වලට සවන්දීමට ද කටයුතු කරන ලදි.

නව්‍යකරණය වූ බහුවිධ සේවා සැපයීම තුළින් විශිෂ්ටතම සබඳතා සහකරු වීමේ ඉදිරි දැක්මෙන් කටයුතු කරන ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවට අයත් මධ්‍යම තැපැල් හුවමාරුව රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුගතව, ප්‍රසන්න වැඩ පරිසරයක් තුළ සේවාලාභී තෘප්තිය උපරිම තලයකට ගෙන එමින් සහ නවීන තාක්ෂණය උපයෝගී කරගනිමින් වඩාත් නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය සේවාවක් සපයන ස්ථානයක් බවට පත් කිරීම  අරමුණ කර ගනිමින් මේ වනවිට නව සැළැස්මක් යටතේ ක්‍රියාත්මක වෙමින් පවතී.

මෙම අවස්ථාවට තැපැල්පති එස්.ආර්.ඩබ්ලිව්.එම්.ආර්.පී සත්කුමාර, මධ්‍යම තැපැල් හුවමාරුවේ අධිකාරිනී මනෝජනී නානායක්කාර, නියෝජ්‍ය තැපැල්පතිවරුන් මෙන්ම මධ්‍යම තැපැල් හුවමාරුවේ නිලධාරින් ඇතුළු කාර්ය මණ්ඩලය එක්ව සිටියහ.