ජාතික පාරිසරික පනත ජුනි 24 පාර්ලිමේන්තුවට

ජාතික පාරිසරික පනත ජුනි 24 පාර්ලිමේන්තුවට
  • SocialShare:

වසර විසි පහ­කට පසුව ජාතික පාරි­ස­රික පනත  ලබන 24 වනදා සංශෝ­ධ­නය කරන බව පරි­සර අමාත්‍ය දම්මික පට­බැඳි මහතා පැවසීය.

ජාතික පාරිසරික පනත සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය දැනුවත් කිරීමේ හමුවක් ඊයේ (15) පරිසර අමාත්‍යාංශයේ පැවැත් වුණු අතර එම මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙම පනත මගින් පළාත් පාලන ආයතනවල පාරිසරික වගකීම් නීත්‍යානුකූලව තහවුරු කර ඇති අතර, එම වගකීම් පැහැර හරින ආයතනවලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට හිමි වන බවද අමාත්‍යවරයා පැවසීය. අධිකරණ නියෝග නොපිළිපදින ආයතන සඳහා ඉහළ දඩ පැනවීමට ද ප්‍රතිපාදන ඇතුළත් කර ඇත.

පාරිසරික ආරක්ෂණ බලපත්‍ර (EPL) කොන්දේසි උල්ලංඝනය කිරීම හෝ දැඩි කාර්මික අනතුරු වැළැක්වීමට අපොහොසත් වීමේදී බලපත්‍ර අත්හිටුවීම, අවලංගු කිරීම සහ අවශ්‍ය නම් කර්මාන්ත තාවකාලිකව වසා දැමීම සඳහා ද නව නීතිමය බලතල හඳුන්වා දී තිබේ.

උපද්‍රවකාරී අපද්‍රව්‍ය හා රසායනික ද්‍රව්‍ය කළමනාකරණයට නව නීති රීති හඳුන්වා දී ඇති අතර, පාරිසරික බලපෑම් ඇගයීම් (EIA/IEE) වාර්තාවල අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම සහ අනුමැතියකින් තොරව ව්‍යාපෘති වෙනස් කිරීම ද දඬුවම් ලැබිය හැකි වරදක් ලෙස නම් කර ඇත.

එමෙන්ම, ‘නිෂ්පාදකයාගේ විස්තීරණ වගකීම’ (EPR) නීතියට එක් කරමින් භාණ්ඩයක ජීවන චක්‍රය කළමනාකරණය කිරීමේ වගකීම නිෂ්පාදකයා වෙත පවරා ඇති අතර, තෙත්බිම් සංරක්ෂණය සඳහා විශේෂ නීතිමය ප්‍රතිපාදන ද හඳුන්වා දී තිබේ.

මෙම සංශෝධන හරහා පරිසර පද්ධතියේ සුරක්ෂිතභාවය තහවුරු කර තිරසර සංවර්ධනයක් සහ මතු පරපුර සඳහා සදාහරිත අනාගතයක් ගොඩනැගීම රජයේ අපේක්ෂාව බව අවධාරණය කෙරිණි.