ලෝක මුහුදු කෑස්බෑවුන්ගේ දිනය අදයි

ලෝක මුහුදු කෑස්බෑවුන්ගේ දිනය අදයි
  • SocialShare:

සාගරය පතුලට අසිරිමත් වටිනාකමක් ලබා දෙන ලෝක මුහුදු කෑස්බෑවුන්ගේ දිනය අදට ( 16) යට යෙදි තිබේ.

ලෝකයේ හඳුනාගෙන ඇති මුහුදු කෑස්බෑ විශේෂ හතෙන් විශේෂ පහක් වන ගල් කැස්බෑවා, දාර කැස්බෑවා, බටු කැස්බෑවා, පොතු කැස්බෑවා සහ පෙරුම් කැස්බෑවා බිත්තර දැමීම සඳහා ශ්‍රී ලංකාවේ දකුණු හා බස්නාහිර වෙරළ තීරයන් තෝරා ගැනීම සුවිශේෂී කරුණකි.

මෙම සමුද්‍ර ජීවීන්ගේ පැවැත්ම සුරක්ෂිත කිරීමට පරිසර අමාත්‍යාංශය, වෙරළ සම්පත් හා වෙරළ කළමනාකරණ දෙපාර්තමේන්තුව සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය එක්ව විවිධ සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කර ඇත.

මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මුහුදු කෑස්බෑවන් වර්තමානයේ දැඩි වඳවීමේ තර්ජනයකට මුහුණ පා සිටින බවත් මුහුදට මුදාහරින ප්ලාස්ටික් හා පොලිතින් අපද්‍රව්‍ය අනුභව කිරීම, ධීවර දැල්වල පැටලීම, බිත්තර කොල්ලකෑම් සහ වෙරළාශ්‍රිත ප්‍රදේශවල අධික ආලෝකකරණය හේතුවෙන් ඔවුන්ගේ ගහනය සීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බවත් පරිසරවේදීන් පෙන්වා දෙති.

ලෝක මුහුදු කෑස්බෑවුන්ගේ දිනය නිමිත්තෙන් වෙරළ තීරයන් පිරිසිදුව තබා ගැනීමටත්, ප්ලාස්ටික් අපද්‍රව්‍ය මුහුදට මුදා හැරීමෙන් වැළකීමටත්, කෑස්බෑවන්ට බිත්තර තැන්පත් කිරීමට සුදුසු පරිසරයක් පවත්වාගෙන යාමට සහාය ලබා දෙන ලෙසත් පරිසරවේදීන් ජනතාවගෙන් ඉල්ලා සිටියි.