සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මහනුවර, පේරාදෙණිය, ගැටඹේ රාජෝපවනාරාම විහාරස්ථානයේ විහාරාධිපති, මහා විහාර වංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක, අතිපූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ගැටඹේ, රාජෝපවනාරාම විහාරස්ථානයේ දී පසුගිය දා බැහැ දැක සුව දුක් විමසා කෙටි පිළිසඳරක නිරතව ආශිර්වාද ලබා ගත්තේය.
මෙහි දී මෙරට වත්මන් ආර්ථික සහ සාමාජීය කටයුතු පිළිබඳව මෙන්ම මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වත්මන් ප්‍රගතිය සහ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබඳව ද නාහිමිපාණන් වහන්සේ සමඟ අමාත්‍යවරයා දීර්ඝ වශයෙන් අදහස් හුවමාරු කර ගනු ලැබීය.
මහනුවර ජාතික රෝහලේ සහ පේරාදෙණිය ශික්ෂණ රෝහලේ සිදුකරන ලද සංවර්ධන ව්‍යාපෘති පිළිබදවත්, සිදුකිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති රජයේ මුදල් වෙන් කරමින් නැවත ආරම්භ කිරීමට පියවර ගැනීම පිළිබඳවත්, සෞඛ්‍ය සේවාවේ පැවැති ගැටළු රැසක් අවම කිරීමට ක්‍රමවත්ව කටයුතු සැලසුම් කර ඇති ආකාරය පිළිබඳව ද අමාත්‍යවරයා අනුනායක නාහිමියන් වහන්සේ දැනුවත් කරන ලදි.
මහනුවර ජාතික රෝහලේ ඉදිරි සංවර්ධන කටයුතු පිළිබදව විශේෂ අවධානයක් යොමුකර ඇති බව මෙහි දී සඳහන් කළ අමාත්‍යවරයා රෝහලට ස්ථිර නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් පත්කිරීමට කටයුතු කළ බවත්, නුදුරේම රෝහලට හෘද රෝග ප්‍රතිකාර සේවාවන් සදහා අවශ්‍යවන නවින වෛද්‍ය උපකරණ වලින් සමන්විත කැත්ලැබ් ඒ්කකයක් ස්ථාපිත කිරීමට සැලසුම්කර ඇති බවත් කඩිනමින් එය රෝහල් පරිශ්‍රයේ ස්ථාපිත කරන බවත් සදහන්කර සිටියේය.
එමෙන්ම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් සිදුකරන ජනතාවාදී අනාගත සෞඛ්‍ය වැඩපිළිවෙළ පිළිබදව ද, වත්මන් රජයේ නව්‍ය සංකල්පයක් ලෙස මෙරට දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” ව්‍යාපෘතිය පිළිබදවත් දීර්ඝව කරුණු ඉදිරිපත්කළ අමාත්‍යවරයා වසර තුනක් තුළ “ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථාන” දහසක් ඉදිකිරීමට අදාළ සැලසුම් පිළිබදවද අමාත්‍යවරයා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දැනුවත් කිරීමට පියවර ගත්තේය.
රජයේ සංවර්ධන ව්‍යාපෘති පිළිබදවත්, විශේෂයෙන්ම අධිවේගී මාර්ගයන්හි ඉදිකිරීම් පිළිබදවත් කරුණු ඉදිරිපත් කළ අමාත්‍යවරයා රුවන්පුර අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, මහනුවර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භ කරන බවත් මෙහිදී සදහන්කර සිටියේය.
මෙහි දී අනුනායක නාහිමියන් වහන්සේ අමාත්‍යවරයා ඇතුළු පිරිසට ආශිර්වාද කරමින් අනුශාසනා කරනු ලැබුහ.
මෙම අවස්ථාවට විහාරස්ථානයේ දායක සභාවේ සභාපති මහචාර්ය එච්.එම්.ඩී.ආර්. හේරත් මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.


