අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නීල හරිත රටක්-පරිසර හිතකාමී ව්‍යාපෘතිය ඇරඹේ

    නොවැම්බර් 01, 2019

    ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා අත්‍යාවශ්‍ය අමුද්‍රව්‍යයක් වන වැලි, ගංගා සහ ඇලමාර්ග ආශ්‍රයෙන් සපයා ගන්නා බව අප සැම හොදින්ම දන්නා කරුණක්.නමුත් ඒවා ඉතා සීඝ්‍රයෙන් ක්ෂයවෙමින් පවතින ඛනිජ සම්පත් බව බොහෝ අයෙක් නොදන්නවා විය හැකිය.

    වැලි ගොඩදැමීමෙන් සිදුවන පරිසර විනාශය සුළු පටු නොවේ.ගංගාවලින් වැලි ගොඩදැමීම නිසා සිදුවන පාරිසරික උපද්‍රව වළක්වා ගනිමින් ඛනිජ සම්පත් වල ප්‍රහීනතාවය පිළිබද අවධානය යොමු කරමින් මුහුදෙන් වැලි ගෙනැවිත් ඒවා භාවිතයට සුදුසු අමුද්‍රව්‍ය බවට පත්කරවාගෙන ගොඩනැගිලි කර්මාන්තයට සෝදා හලන ලද මුහුදුවැලි ඇසුරුම් කර අලෙවි කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත.

    ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සමාගම ආරම්භ කරන ලද “සෝදා හලන ලද මුහුදුවැලි අලෙවි කිරීමේ ව්‍යාපෘතිය” මගින් වෙළෙදපොලට හදුන්වා දී ඇති වැලි,ඉදිකිරීම් ක්ෂේත්‍රය සදහා යොදාගැනීමට යෝග්‍යබවට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවේ ඉංජිනේරු ද්‍රව්‍ය පර්යේෂණාගාරය,ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය,මොරටුව කටුබැද්ද විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු අධ්‍යනාංශය යන ආයතන විසින් සහතික කර තිබේ.මේ සදහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිති සහතිකයද ලැබී ඇත.මේ වන විට කෙරවලපිටිය ප්‍රධාන වැලි සංචිත භූමියේ පිහිටි ප්‍රධාන අලෙවි සැලෙන් සහ කොළඹ දිස්ත්‍රික්කයේ පිහිටුවා ඇති කැළණිය,නාවල,දෙහිවල,රාජගිරිය සහ හංවැල්ල යන අලෙවි මධ්‍යස්ථාන පහ හරහා වැලි තොග වශයෙන් අලෙවි කිරීම ආරම්භ කර තිබේ.ඉදිරි වසර ඇතුළත බස්නාහිර පළාතේ තවත් ස්ථාන 12 ත වැලි විකුණුම් මධ්‍යස්ථාන පිහිටුවීමට කටයුතු යොදා ඇත.

    “වෙළෙදපොලෙන් ගංගා ආශ්‍රිත වැලි මිලට ගැනීමට ජනතාව පෙළඹී ඇත්තේ මුහුදු වැලිවල ලවණ ඇතැයි යන සැකය නිසා.නමුත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලවණ ඉවත් කර සකස් කර ඇසුරුම් කරන ලද වැලි භාවිතා කරමින් දැනට ශ්‍රී ලංකාවේ භාවිත කරන සියලුම අධිවේගී මාර්ගවල සෑම පාලමක්ම සහ බෝක්කුවක්ම සහ තට්ටු දහයකට වැඩි මහල් නිවාස ඉදිකිරීමට 100% ක්ම භාවිත කර ඇත්තේ ඉඩම් සංවර්ධන සංස්ථාව මගින් සපයන ලද මුහුදු වැලි නිසා කිසිදු බියකින් සහ සැකයකින් තොරව මෙම වැලි ඉදිකිරීම් කටයුතු සදහා යොදා ගත හැකියි.” යැයි ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති රොෂාන් ගුණවර්ධන  කියයි.

    2017 වසරේ සිට නවීන තාක්ෂණික යන්ත්‍රෝපකරණ භාවිත කරමින් මුහුදුවැලි සෝදා හැලීම් කටයුතු ආරම්භ කර හමගින් 2018 වනවිට වැලිකියුබ් 250,000 ක් පමණ වෙළෙද පොළට යොමුකිරීමට ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධන සංස්ථාවට හැකියාය ලැබුණි.2020 වන විට මෙම ධාරිතාව වැලිකියුබ් 350,000 දක්වා වර්ධනය කර ගැනීමේ අරමුණින් පුද්ගලික අංශයට තරගකාරීත්වයක් සපයමින් කටයුතු කර නව වැලි සේදුම් යන්ත්‍රයක් සහ ජල පිරිපහදු යන්ත්‍රයක් ආනයනය කිරීමට කටයුතු කරන ලදී.

    සෝදා හලන ලද මුහුදු වැලි අලෙවි කිරීමේ ව්‍යාපෘතියේ දෙවන පියවර ලෙස එහි කාර්ය සාධනය ඉහළ නැංවීම සහ මහජනතාව වෙත සහනදායී මිල ගණන් යටතේ වැලි සැපයීමේ අරමුණින් ඇසුරුම් කරන ලද වැලි පැකට් කර බෙදාහැරීම සිදුකරයි.රුපියල් මිලියන 400 ක වියදමෙන් ඉදිකරන ලද මධ්‍යස්ථානය විවෘත කිරීම සහ කොළඹ,ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කයන්හි ඉදිකිරීම් ද්‍රව්‍ය අලෙවිසැල් වෙත වැලි බෙදාහැරීම 2019 නොවැම්බර් මස 01 වන දින මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    ඉදිකිරීම් කටුයතුවලට අවශ්‍ය වැලි සපයා ගැනීමේදී පාරිභෝගික ජනතාව මුහුණ දෙන නොවිසදුණු ගැටලු රාශියකි.

    * වැලි මිල උච්ඡාවචනය වීම.
    * ගබඩාකර ගැනීමට ප්‍රමාණවත් පහසුකම් නොමැතිවීම.
    * ප්‍රවාහනය කිරීමේදී සිදුවන අපහසුතා සහ සම්පත් නාස්තිය.

    මෙවැනි කරුණු ගණනාවක් සලකා බැලීමෙන් අනතුරුව පිරිසිදු කරන ලද මුහුදු වැලි පැකට් කර විකිණීමෙන් භාවිතයේදී කිසිදු නාස්තියක් සිදු නොවන අයුරින් පාරිභෝගිකයාට විශාල ප්‍රතිලාභයක් සෘජුවම ලැබෙන බව නොරහසකි.කිසිදු ගැටලුවකට පත් නොවී පහසුවෙන් මිලදී ගැනීමට හැකි මෙම වැලි පැකට්ටුවක විකුණුම් මිල රුපියල් 220.00 කි.

    ගංගා ආශ්‍රිතව වැලි ගොඩදැමීම නිසා පාරිසරික වශයෙන් විශාල පරිසර සංහාරයක් සිදුවන බව පරිසර වේදීන්ගේ අදහසයි.පරිසර විනාශය ගැන අවධානය යොමු කරමින් එය වැළැක්වීම සඳහා මෙම පරිසර හිතකාමී ව්‍යාපෘතිය හෙට දවස වෙනුවෙන් අගය කළ යුතුමය.

    සටහන-අශානී විජේකෝන්

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya