ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (29) පෙරවරුවේ තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේ දී පැවති ජාතික වප් මඟුල් උත්සවය අමතමිනි.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන නායකත්වයක් සහ මඟපෙන්වීමක් නොමැතිකමින් අද පළාත් සභා 06 ක නිලධාරින් අසරණ වී ඇති බවයි. චක‍්‍රලේඛ සමඟ නිලධාරින්ට සේවය කළ හැකී සීමාවක් පවතින අතර ඉන් ඔබ්බට ගොස් ජනතාවාදී යහපත් සේවාවක් වෙනුවෙන් දේශපාලන නායකත්වයක් අවශ්‍ය බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
එබැවින් හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳව හෙට හෝ අනිද්දා මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා පවත්වන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ උතුරේ ද දකුණේ ද සියලු ජනතාවගේ ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදීම අත්‍යවශ්‍ය බවයි.
උතුරේ ජනතාවගේ ප‍්‍රශ්නවලට විසඳුම් ලබාදිමට පසුගිය වසර තුන හමාරක කාලය තුළ වගකීම් දැරූ පිරිසට හැකියාවක් නොලැබුණු බව මෙහි දී සඳහන් කළ ජනාධිපතිතුමා උතුරේ ජනතාව වෙනුවෙන් කි‍්‍රයාත්මක කිරීමට නියමිත නිවාස වැඩපිළිවෙළ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡාවට පමණක් සීමා වූ බව ද කියා සිටියේ ය.
ජනතාවගේ ජීවන බර අඩු කරමින්, රටේ ආර්ථික සමෘද්ධිය ගොඩනඟමින් සහ යහපත්, විනයගරුක හික්මීමක් ඇති රාජ්‍ය පාලනයක් ශක්තිමත් කරගනිමින් මෙන් ම දේශීයත්වය අගය කරමින් ඉදිරියට යාමට සියලු දෙනා එකට එක් විය යුතු බව මෙහි දී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා නව රජය සමඟ සහෝදරත්වයෙන්, සමගියෙන් සහ මිත‍්‍රත්වයෙන් අත්වැල් බැඳගන්නා ලෙස තමා සියලු දේශපාලනඥයන්ට රාජ්‍ය නිලධාරින්ට මෙන්ම සියලු ආගමික පූජකවරුන් ප‍්‍රමුඛ සමස්ත රටවාසී ජනතාවට ආරාධනා කරන බව ද පැවසීය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ නව තාක්ෂණය, මෙන්ම ලෝකයේ නවීන දැනුම අපට අවශ්‍ය වුවත් දේශීයත්වය අගයන අපගේ සංස්කෘතිය සහ ආහාර රටාවට ගැළපෙන කෘෂි ආර්ථික වැඩපිළිවෙළක් සමග අප ඉදිරියට ගමන් කළ යුතු බවයි.
ගොවි ජනතාව වෙත බිත්තර වී සහ පළතුරු පැළ බෙදාදීම සංකේතවත් කිරීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.
මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, චමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, ශාන් විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන්, කාදර් මස්තාන් යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ ප‍්‍රදේශයේ ගොවි ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර තිස්සමහාරාම, දෙබරවැව මූලික රෝහලේ වකුගඩු සත්කාර ඒකකය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.
එහි නව රුධිර කාන්දුකරණ ඒකකය සහ රසායනාගාරය ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.
රෝහල් වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප‍්‍රභාත් ජයදේව මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේ දී පැවති ජාතික වප් මඟුල් උත්සවය අමතමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව 2018.10.29
වප් මඟුල් උත්සවය අපේ සංස්කෘතියට අලුත් දෙයක් නොවෙයි. අතීතයේ සිට පැවැති රාජකීය උත්සවයක්. ඔබ දන්නවා වප් කියන්නේ බීජ. බීජ පැළ කිරීම, බීජ සිටුවීම, බීජ වැපිරීම වප් මංගල්‍යය විදියට සලකනවා. ඒ වගේම මෙහිදී රටක ආර්ථිකය, ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න දහඩිය හෙළන ගොවි ජනතාවට ගෞරවයක් ප‍්‍රණාමයක් පුද කරනවා. මේ වප් මඟුල දුක් විඳින ගොවීන්ගේ රටට බත සපයන ගොවීන්ගේ දහඩියට සහ කඳුළුවලට වටිනාකමක් දෙනවා. ඒ නිසා තමයි ඈත අතීතයේ සිටම සම්ප‍්‍රදායික වුවත් එය රාජකීය උත්සවයක් බවට පත් කර තිබෙන්නේ. වප් මඟුල කියලා කියන්නේ ගොවියා ඈත අතීතයේ සිටම ඔටුනු පලඳන දවසක්. සාමාන්‍යයෙන් දේශපාලනයේ ඔටුනු පැලඳීම් ගැන කියනවා. රාජකීයයන් විසින් ගොවියාට ඉහළම ගෞරවය පුද කරනු ලබන දිනය වප් මඟුල යෙදෙන දිනයි.
මහ පැරකුම් රජ දවස සිට මේ පුණ්‍ය භූමියේ නිෂ්පාදනය වුණු සහල් පිටරටට යැව්වා. එදා මෙදා තුර මේ රට කවුරුන් පාලනය කළත් කෘෂිකර්මාන්තයට මූලිකත්වයක් දුන්නා. ඒ සඳහා ප‍්‍රධාන හේතුව මේ රටේ ආර්ථික සංවර්ධනයේ ප‍්‍රමුඛ පදනම කෘෂිකර්මාන්තය. මිනිසුන්ට ජීවත් වෙන්න ආහාර අවශ්‍ය යි ඔක්සිජන්, ජලය අවශ්‍ය යි. මේ තුනම නැත්නම් මිනිස්සුත් නැහැ සත්තුත් නැහැ. ගහකොළත් නැහැ. ලෝකයේ අරුම පුදුම දර්ශනයක් දකින්නේ. නමුත් අපි රටක් විදියට අද මුහුණ දෙන ආර්ථිකයේ ප‍්‍රබලතම ඛේදවාචකය තමයි අතිවිශාල ආහාර ප‍්‍රමාණයක් පිටරටින් ගෙනැල්ලා කන එක. එක පැත්තකින් පසුගිය කාලේ අපට නියඟය වගේ කරුණු බලපෑවා. තවත් පැත්තකින් රාජ්‍ය කෘෂිකර්ම ප‍්‍රතිපත්තියේ තිබෙන වැරදි. රාජ්‍ය ආර්ථික ප‍්‍රතිපත්තියේ තිබෙන වැරදි. එම වැරදි ප‍්‍රතිපත්ති හේතුවෙන් අපේ උරුමයන් යට යනවා. අපේ සංස්කෘතීන් යට යනවා. අපේ ආහාර සංස්කෘතීන් විනාශ වෙනවා. ඈත අතීතයේ සිටම අපේ ආහාර අපිම නිෂ්පාදනය කළා පමණක් නොවෙයි ලෝකයට දුන්නා. අපනයනය කළ බව අපි දන්නවා.
කෘෂිකර්මාන්තය ශක්තිමත් කිරීමේ යෝධ වැඩපිළිවෙලේ දී ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවරයා වශයෙන් පත් කරලා අලුත් රජය විදියට අපි ඉදිරියට යනවා. ඒ වගේම අපේ නිවේදක මහත්මයා මහින්ද අමරවීර ඇමතිතුමාට ආරාධනා කළේ හිටපු කෘෂිකර්ම ඇමති කියලා. එයා හිටපු නෙවෙයි. දැනුත් එහෙමයි. හෙටත් එතුමා තමයි කෘෂිකර්ම ඇමති. මම එතුමා ගැන ඉතාම සතුටු වෙනවා. ඒ මොකද මේ මාස කීපය තුළ නව තාක්ෂණයත් සමඟින් කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන්න එතුමා තුළ තිබුණු උනන්දුව මම දැක්කා. නව කෘෂිකාර්මික සංකල්පයන් එක්ක එතුමා විශිෂ්ට නායකත්වයක් දී තිබෙනවා. මහින්ද අමරවීර මහත්මයා කෘෂිකර්මාන්ත ඇමතිකමට ගැළපෙන ඒ ගැන අවබෝධයත්, දැනුමත්, අත්දැකීම් තිබෙන දක්ෂ ගොවියෙක් කියලයි මම හිතන්නේ.
වන්දනීය පූජනීය මහා සංඝරත්නය, අනිකුත් ආගමික පූජකතුමන්ලාගේ අනුශාසනා ඇතිව අපේ මැති ඇමතිවරු, රාජ්‍ය නිලධාරීන් ගොවි ජනතාව සමඟ එක්ව අද මේ ජාතික වප් මඟුල කරලා බලාපොරොත්තු වෙන්නේ අපේ මේ මාතෘභූමියේ ජනතාවගේ කුසගිනි නිවන්න. ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න. ආහාරවලින් රට ස්වයංපෝෂිත කරන්න නව ආහාර සංස්කෘතියක් ගොඩනගන්න මේ ගන්නා වූ වෙහෙස, උත්සාහය පිළිබඳව ගරු ඇමතිතුමා ඇතුළු සියලු දෙනාට මම ස්තූතිවන්ත වෙනවා. මේ කටයුතුවලදි ගොවි ජනතාව ශක්තිමත් කරන්න දිය හැකි සෑම සහයෝගයක්ම අපි දෙනවා.
නියඟය අවසන් වෙලා වැස්ස ලැබුණට පස්සේ කෘෂිකර්ම ඇමතිතුමත් අපත් සාකච්ඡා කළා රට පුරා ගොවීන්ට පුළුවන් තරම් බීජ බෙදා හරින්න. මම පසුගිය දවසක කුරුණෑගල විහාරස්ථානයක උත්සවයකට ගියා. මහා පොල් වතු මැද්දෙන් අපි ගමන් කළා. එහි දී මම කිසිම තැනක යටි වගාවන් දැක්කේ නැහැ. නමුත් පොල් වත්ත යටි වගාවට කොච්චර පාවිච්චි කරන්න පුළුවන්ද. පළතුරු, එළවළු, ධාන්‍ය දවස් හතළිස් පහේ දවස් හැටේ. මාස දෙකේ මාස තුනේ ධාන්‍ය කොච්චර වගා කරන්න පුළුවන්ද? උතුරේ සිට නැගෙනහිරත් බටහිර සිට දකුණ මේ පින්වන්ත භූමියේ සෑම ප‍්‍රදේශයකම බිම් අඟලක් ගානේ පැළයක් රෝපණය වන මහා පින් බිමක් මේ පින් බිම. මේ පින් බිමේ වටිනාකම් දැනගෙන මේ පින්බිමට ගැළපෙන විදියට ආර්ථික සැලසුම් හදන්න ඕනෑ. මේ පින් බිමට ගැළපෙන විදියට ආහාර සංස්කෘතිය හදන්න ඕනෑ. මේ පින් බිමට ගැළපෙන විදියට ආර්ථික ප‍්‍රතිපත්තිය සහ දර්ශනයන් හදන්න ඕනෑ. දේශීයත්වය අපේ උරුමය අපේ දේ. ඒ සියල්ලට ඉහළ ඇගයීමක් කරන්න ඕනෑ. වටිනාකමක් දෙන්න ඕනෑ. ඉහළ තක්සේරුවක් දෙන්න ඕනෑ. එහෙම නැතිව ඒවා අමතක කරලා ලෝකයේ වෙන වෙන දර්ශනයන් කර තියාගෙන නෙවෙයි අපේ රට හදන්න ඕනෑ. ලෝකයෙන් දැනුම, තාක්ෂණය ගන්න ඕනෑ. අලුත් දේ ගන්න ඕනෑ. නමුත් වසර දහස් ගණනක සිටම තිබෙන ශාස්ත‍්‍රීය ඥානය, විද්‍යාත්මක දැනුම කෘෂිකර්මාන්තයේ මහා පරිණත භාවය ඒ සියල්ලන්ගෙන් පරිපූර්ණ වූ මහා පින්වන්ත පුණ්‍ය භූමියකයි අපි ජීවත් වෙන්නේ. මේ උතුම් පින් බිම ඒ කෘෂිකර්මාන්තයෙන් ආර්ථිකයෙන් ශක්තිමත් කරනවා වගේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය, නිදහස මිනිසුන්ගේ අයිතිවාසිකම්, මාධ්‍ය නිදහස ඒ සියල්ල ශක්තිමත් කළ යුතු වෙනවා.
ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමේ පියවරක් වශයෙන් මැතිවරණ කොමිසම සමඟ සාකච්ඡා කරලා හෙට නැත්නම් අනිද්දා හැකි පමණ ඉක්මනින් පළාත් සභා මැතිවරණ පවත්වන්න අපි බලාපොරොත්තු වෙනවා. එමඟින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වෙනවා. අද පළාත් සභා 06 ක නිලධාරි මහත්වරු අතරමං වෙලා. ඒ අයට දේශපාලන නායකත්වයක් නැහැ. මඟපෙන්වීම් නැහැ. නිලධාරී මහත්වරුන්ට වැඩ කරන්න පුළුවන් යම් සීමාවන් තුළ. චක‍්‍රලේඛත් එක්ක. නමුත් චක‍්‍ර ලේඛ කඩාගෙන ජනහිතකාමීව යහපත් දේ කරන්න දේශපාලන නායකත්වයන් අවශ්‍යය යි. ඒ නීති රීති, චක‍්‍රලේඛ ජනතාවගේ යහපත සඳහා පාවිච්චි වෙන්න ඕනෑ. කොහේ හරි තැනක අයහපත් දෙයක් වෙනවා නම් ඒවා වෙනස් කරන්න ඕනෑ. ඒ නිසා අපි පළාත් සභා මැතිවරණ හැකි පමණ ඉක්මනින් පවත්වනවා.
මම අද දකුණේ ඉඳගෙන කියන්නට ඕනෑ. උතුරේ ජනතාවගේ ප‍්‍රශ්න විසඳන්න පසුගිය අවුරුදු තුනහමාරක කාලසීමාවේ දිය හැකි දිය යුතු සැබෑ විසඳුම් දෙන්න ඒ වගකීම් දරපු අයට පුළුවන් කමක් තිබුණේ නැහැ. උතුරේ ජීවත් වෙන්නේ යුද්ධය නිසා දැඩි පීඩාවන්ට පත් වුූණ ජනතාවක්. ඒ අයගේ ආර්ථිකය ශක්තිමත් කරන්න අපි පුළුල් මෙහෙවරක් ඉෂ්ට කරන්න ඕනෑ. 2015 සිට වසර 04 කට ආසන්න කාලයක් කැබිනට් මණ්ඩලය උතුරේ ගෙවල් ටික හදන එක සාකච්ඡා කළා විතරයි. ලැබුණු විදේශ ණය, විදේශ ආධාර මොන ඇමති ද පාවිච්චි කරන්නේ කාගේ යටතේ ද කරන්නේ කියලා කඹ ඇදිල්ල අවුරුදු තුනහමාරක් තිස්සේ තිබුණේ. ඒ වගකීම් දැරූ අය ඒ ජනතාවගේ ගෙවල් ටිකවත් හදලා දුන්නේ නැහැ. ඒ නිසා උතුර ද දකුණ ද කියන ප‍්‍රශ්නය නෙවෙයි අපිට තිබෙන්නේ. රටක් විදියට තිබෙන ප‍්‍රශ්නවලදි මිනිසුන්ගේ ප‍්‍රශ්නය කුමක්ද කියන එකයි මිනිසුන්ගේ ගැටලු කොහොමද විසඳන්නේ කියන එකයි. මානව දයාව, ආදරය ඒ සියල්ල කැටි කොට ප‍්‍රබුද්ධ සමාජයක් ගොඩනැඟිය හැක්කේ සෑම මිනිසෙකුටම එකවගේ ආදරය කිරීමෙන්, සැලකීමෙන්, ගෞරව කිරීමෙන් සහ පිළිගැනීමෙන් බව අපි දන්නවා. සමාජ සමානාත්මතාවය, සහජීවනය පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ මොනතරම් දේශනාවන් තිබෙනවද? අනිකුත් ආගමික ධර්මතාවන් හිදිත් එහෙමයි.
හින්දු ධර්මය, කිතුනු ධර්මය, ඉස්ලාම් ධර්මය ආදි ඒ සෑම ආගමික දැක්මකම මිනිසාගේ සහජීවනය සහ සමඟිය මිනිසා මිනිසාට ගරු කිරීමේ ප‍්‍රතිපත්තිය පිළිබඳව පුළුල් ලෙස කියවෙනවා. ඒ නිසා අපි අලුත් ආණ්ඩුවක් විදියට ජනතාවගේ ජීවන බර අඩු කරන්න ඒ වගේම ආර්ථික සමෘද්ධියක් ඇති කරන්න යහපත් විනයගරුක හික්මීමක් ඇති රාජ්‍ය පාලනයන් ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න, දේශීයත්වය අගය කරන්න, ඒ සියල්ලටම සියලු දෙනා එකට එකතු වෙලා කටයුතු කරන්න ඕනෑ. මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති වශයෙන් පත් කළ මේ රටේ සියලු දේශපාලන පක්ෂ, සියලු රාජ්‍ය නිලධාරීන්, සියලු ආගමික පූජකතුමන්ලා මේ රටේ සමස්ත පුරවැසියන්ගෙන් මා ඉතාම ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා සමගියෙන් ශක්තියෙන් සහෝදරත්වයෙන් බැඳීමෙන් මිත‍්‍රත්වයෙන් ඒ මහා යෝධ හස්තයෙන් අපි මේ රට ගොඩදාන්න සියලු දෙන එකට එකතු වෙමු. සියලු වාද භේද අමතක කරමු. පොදු දේපළ, රාජ්‍ය දේපළ ආරක්ෂා කරමු. ආණ්ඩුවක් වෙනස් වෙලා අලුත් ආණ්ඩුවක් එනකොට දේශපාලන නායකත්වයන් වගේම රාජ්‍ය නිලධාරීනුත් හුවමාරු වෙනවා. ඒ තුළ කිසිදු සම්පතකට දේපළකට හිරිහැරයක් විනාශයක් නොවිය යුතුයි.
ඇල්පෙනෙත්තක් විනාශ කළොත් එයිනුත් බර දැනෙන්නේ ජනතාවගේ සාක්කුවටයි. ඒ නිසා අපි නීතිය, යහපත් බව, විනයගරුක බව, හැදියාව එක්ක මානව දයාවෙන් ඉදිරියට යන නව රජයක් විදියට ඔබට වගේම මේ රටේ සමස්ත ජනතාවට මම ආරාධනා කරනවා අපේ මාතෘභූමිය වෙනුවෙන් අද ජීවත් වන ජනතාව වගේම හෙට උපදින දරුවන් වෙනුවෙන් අපේ වගකීම් සහ යුතුකම් අපි ඉටුකරමු කියලා. අපේ රටේ අනාගතය සුබදායකයි. වාසනාවන්තයි. පින්වන්තයි. භාග්‍යවන්තයි.
ස්වභාවධර්මය අපට ආශිර්වාදයක්. ලෝකයේ බොහෝ රටවල්වලට ඇළ දොළ, ගහ කොළ, සතා සීපාවා මහ පොළොව වැනි ස්වාභාවික සම්පත් එක සමානව ලැබිලා නැහැ. ඇතැම් දේවල් වැඩියි. ඇතැම් දෙවල් අඩුයි. ඇතැම් දේවල් ඇත්තෙම නැහැ. නමුත් අපිට ඒ කිසිදේකින් අඩුවක් නැහැ. අපේ අඩුව ඒ තිබෙන දෙයින් අපි හරි ප‍්‍රයෝජනයක් ගන්නේ නැති එක. ඒකට අපේ කැපවීම නැති එක. දූෂණයෙන්, වංචාවෙන්, අගතියෙන්, නාස්තියෙන්, අක‍්‍රමිකතාවෙන් තොරව ස්වාභාවික සම්පත් ඇතුළු සියලු රාජ්‍ය පොදු දේපළ මහජන දේපලවලට ආදරය කරලා ආරක්ෂා කරලා සුරක්ෂිත කරලා රටට දැයට ආදරය කරන සැබෑ මහජන හිතකාමී පිරිසක් විදියට අපි අපේ වගකීම් ඉෂ්ට කරනවා.
ඔබ සියලුදෙනාට ස්තූතියි. තෙරුවන් සරණයි.