චීනයේ සැන්යා නගරයේ පැවැති 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කළ මලල ක්‍රීඩා කණ්ඩායම පදක්කම් 4ක් දිනා ගනිමින් විශිෂ්ට ජයග්‍රහණයක් ලබා, පසුගියදා (27) දිවයිනට පැමිණියහ.
මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් තුනක් හිමිවිය.
කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් ඉෂාරා සමන්මලී මීටර් 5.87ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කම දිනා ගත්තාය. එය ආසියානු වෙරළ ක්‍රීඩා ඉතිහාසයේ ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා අංශයෙන් ලබාගත් පළමු රිදී පදක්කම ලෙස සටහන් විය.
ශෂිකලා ලංකාතිලක මීටර් 5.83ක දක්ෂතාවයක් සමඟින් කාන්තා දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගත්තාය. පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් ජයත්‍ර සම්පත් මිරැන්ඩා මීටර් 7.37ක දක්ෂතාවයක් පෙන්වා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.
පිරිමි 4x60m සහය දිවීමේ කණ්ඩායම වන මනුජ ප්‍රභාෂ්, මලිත් තමෙල්, මලිත් තරුෂාන් සහ සඳුන් දියලවත්ත යන ක්‍රීඩකයින් තත්පර 27.57ක කාලයක් තුළ තරගය නිම කරමින් තවත් ලෝකඩ පදක්කමක් රටට හිමි කර දුන්හ.
මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් එස්. අචුතන් මහතා ඇතුළු නිලධාරීන් සහ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජිතයින් කටුනායක ගුවන් තොටුපළේදී එක්ව සිටියහ. ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් ජනරාල් රිෆ්ඩි ෆාමි මහතා සහ මලල ක්‍රීඩා කොමිසමේ සභාපති නිලුක කරුණාරත්න මහතාද මෙම අවස්ථාවට එක්වී ක්‍රීඩකයින් දිරිමත් කළහ.
මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා වෙරළ මලල ක්‍රීඩා ඉතිහාසයේ වැදගත් සන්ධිස්ථානයක් ලෙස සැලකේ. සීමිත පහසුකම් අතරින් ජාත්‍යන්තර මට්ටමේ සාර්ථකත්වයක් අත්කරගත් අපේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සමස්ත ජාතියේම ගෞරවය හිමි වේ.


