ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය
  • SocialShare:

විදේශ රැකියා ක්ෂේත්‍රයේ වර්තමාන අවශ්‍යතා, ජාත්‍යන්තර ප්‍රමිතීන් සහ ජාතික ප්‍රමුඛතාවන්ට අනුගත වන නව නීතිමය රාමුවක් ස්ථාපිත කිරීමේ අරමුණින් 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත මඟින් විදේශ රැකියා නියාමනය කිරීම, ශ්‍රී ලාංකික විගමනික ශ්‍රමිකයන්ගේ සුබසාධනය සුරක්ෂිත කිරීම සහ විදේශ රැකියා අවස්ථා ප්‍රවර්ධනය කිරීම සඳහා නීතිමය රාමුවක් සලසා දී ඇත.

කෙසේ වෙතත්, විදේශ රැකියා ක්ෂේත්‍රයේ ඇතිවී තිබෙන නව ප්‍රවණතා, ශ්‍රම වෙළෙඳපොළේ වෙනස්කම් සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, දැනට පවතින නීතිමය හා ආයතනික රාමුව නවීකරණය කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබේ.

ඒ අනුව, විදේශ රැකියා ක්ෂේත්‍රයට අදාළ නීතිමය සහ ආයතනික රාමුව ශක්තිමත් කිරීම සඳහා සකස් කර ඇති සංකල්ප පත්‍රිකාව මත පදනම්ව, 1985 අංක 21 දරන ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත ඉවත් කර නව පනතක් හඳුන්වා දීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් ලබාදීමට නියමිතය.

ඒ සඳහා විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවිය.