ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදී ඉදිරියට ගමන් කරන පසුබිමක, රටේ තිරසාර සංවර්ධනය තහවුරු කිරීම සඳහා කාර්යක්ෂම රාජ්‍ය අංශයක් මෙන්ම වගවීමෙන් යුතු කළමනාකරණ ගණකාධිකරණ පද්ධතියක් අත්‍යවශ්‍ය බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.
අග්‍රාමාත්‍යතුමිය මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා සහතික ලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CMA Sri Lanka) විසින් සංවිධානය කළ CMA ශ්‍රී ලංකා ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළුව 2026 අමතමිනි. එම සමුළුව ජූලි 20 වන දින කොළඹදී පැවැත්විණි.
“අර්බුදය, ස්ථාවරත්වය සහ වර්ධනය - කළමනාකරණ ගිණුම්කරණ කෝණයෙන්” (Crisis, Stability and Growth: A Management Accounting Lens) යන තේමාව යටතේ පැවැති මෙම සමුළුව ජූලි 20 සහ 21 යන දෙදින පුරා කොළඹ Cinnamon Life හෝටලයේදී පැවැත්විණි.
සමුළුවේ සමාරම්භක උත්සවයේදී CMA ජාතික කළමනාකරණ ගිණුම්කරණ සමුළු සඟරාව එළිදැක්වීම, ගිණුම්කරණ ක්ෂේත්‍රයේ වසර 50ක සේවයක් සම්පූර්ණ කළ ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් සඳහා පිරිනැමෙන ‘ස්වර්ණ ජයන්ති සම්මාන’ ප්‍රදානය කිරීම සහ රාජ්‍ය නිලධාරීන් සඳහා CMA කළමනාකරණ ගිණුම්කරණ පාඨමාලාව හැදෑරීමට පූර්ණ ශිෂ්‍යත්ව 100ක් රජය වෙත පිරිනැමීම අග්‍රාමාත්‍යතුමියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
එමෙන්ම ‘CMA Business Excellence Awards 2026’ සහ සුදුසුකම් ලත් සාමාජිකයින් සඳහා වන ‘Merit Awards’ සම්මාන ප්‍රදානයද මෙහිදී සිදු කෙරිණි.
අනතුරුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සඳහන් කළේ, වර්තමාන ගෝලීය අස්ථාවරත්වය හමුවේ කළමනාකරණ ගණකාධිකරණය යනු මූල්‍ය වාර්තාකරණයකට පමණක් සීමා නොවී, රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකෙහිම නිවැරදි උපායමාර්ගික තීරණ ගැනීමට උපකාරී වන ප්‍රධාන මෙවලමක් බවයි.
ජනතාවගේ කැපවීම සහ රජය ගත් දැඩි ප්‍රතිපත්තිමය තීරණ හේතුවෙන් ශ්‍රී ලංකාව මේ වන විට මූල්‍ය අර්බුදයෙන් සාර්ථකව ගොඩ එමින් සිටින බවත්, නිෂ්පාදන, සංචාරක හා මූල්‍ය ක්ෂේත්‍රවල ඇති වූ ප්‍රගතිය සමඟ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාව නැවත ඉහළ මධ්‍ය ආදායම් ලබන ආර්ථිකයක් සහිත රටක් ලෙස වර්ගීකරණය කර ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
මෙම තත්ත්වය තුළ ආර්ථිකය තවදුරටත් ස්ථාවර කරමින් තරගකාරී හා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීම රට හමුවේ ඇති ප්‍රධාන අභියෝගයක් බවද ඇය පෙන්වා දුන්නාය.
පසුගිය කාලය තුළ ඇතැම් රාජ්‍ය ආයතන සහ අමාත්‍යාංශ වාර්ෂික මූල්‍ය ප්‍රකාශන හා විගණන වාර්තා නියමිත පරිදි ඉදිරිපත් කර නොතිබූ බවත්, වත්මන් රජයේ මැදිහත්වීම මත එම වාර්තා යාවත්කාලීන කිරීමට පියවර ගෙන ඇති බවත් අග්‍රාමාත්‍යතුමිය සඳහන් කළාය.
මින් ඉදිරියට නියමිත වේලාවට මූල්‍ය වාර්තා ඉදිරිපත් නොකරන සහ නියමිත ප්‍රමිතීන් උල්ලංඝනය කරන ආයතන හා නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද ඇය අවධාරණය කළාය.
රාජ්‍ය පරිපාලනය තුළ තීන්දු තීරණ ගත යුත්තේ පුද්ගලික න්‍යායපත්‍ර මත නොව, සාක්ෂි, දත්ත සහ විද්‍යාත්මක පදනම මත බවත්, වර්තමාන ගෝලීය අවශ්‍යතාවලට ගැළපෙන පරිදි පාරිසරික හායනය සහ සමාජීය පිරිවැය වැනි කරුණුද ගණකාධිකරණ ක්‍රියාවලියේදී සැලකිල්ලට ගැනීම වැදගත් බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් සඳහන් කළාය.
රජය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ උසස් පෙළ අංශයට වෘත්තීය පුහුණු පාඨමාලා සහ වසරක ආයතනික පුහුණුවක් (Internship) ඇතුළත් කිරීමට කටයුතු කරමින් සිටින බවත්, ඒ සඳහා රටේ පිළිගත් ආයතන හා සංවිධානවල සහය රජයට අවශ්‍ය බවත් ඇය පැවසුවාය.
ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය (AI) සමඟ ඉදිරියට යන නව ලෝකයට ගැළපෙන සදාචාරාත්මක හා උපායමාර්ගික චින්තනයෙන් යුතු වෘත්තිකයන් බිහිකිරීම සඳහා CMA ආයතනය ඇතුළු වෘත්තීය ආයතන ලබාදෙන දායකත්වය අගය කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.


