දිවයිනෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා නව ජාතික වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා

දිවයිනෙන් ජලභීතිකා රෝගය තුරන් කිරීම සඳහා නව ජාතික වැඩපිළිවෙළක් පිළිබඳ සාකච්ඡා
  • SocialShare:

ශ්‍රී ලංකාවෙන් ජලභීතිකා රෝගය සම්පූර්ණයෙන්ම තුරන් කිරීම, සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම සහ වීදි සතුන්ගේ ගහනය විධිමත්ව පාලනය කිරීම සඳහා ක්‍රියාත්මක කළ යුතු ජාතික වැඩපිළිවෙළ පිළිබඳව එක්සත් රාජධානියේ ප්‍රමුඛ පෙළේ සත්ත්ව සුබසාධන සංවිධානයක් වන Battersea සහ ජාත්‍යන්තර සහකාර සත්ත්ව කළමනාකරණ සන්ධානය (ICAM - UK) නියෝජනය කරන විශේෂ නියෝජිත පිරිසක් හා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර විශේෂ සාකච්ඡාවක් අද (21) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.

මෙතෙක් ක්‍රියාත්මක වූ සුනඛ එන්නත්කරණයේ සියයට 70ක ඉලක්කය වෙනුවට, කෙටි කාලයක් තුළ උපරිම සුනඛ සංඛ්‍යාවකට වසර තුනක ආරක්ෂාව ලබාදෙන එන්නත ලබාදීමේ ‘No Dog Left Behind’ නව ක්‍රමවේදය හඳුන්වා දීමේ වැදගත්කම නියෝජිත පිරිස මෙහිදී පෙන්වා දුන්හ.

මෙම ක්‍රමවේදය හරහා ජලභීතිකා රෝගය වැළඳීමෙන් පසු ලබාදෙන Post-Exposure Prophylaxis (PEP) එන්නත් සඳහා දැනට වැය වන අධික පිරිවැය සැලකිය යුතු ලෙස අවම කරගත හැකි බවද විශේෂඥයෝ සඳහන් කළහ.

පශු වෛද්‍යවරුන්ගේ පවතින හිඟය සහ පරිපාලනමය අභියෝග මඟහරවා ගැනීම සඳහා පළාත් පාලන ආයතන මට්ටමින් පුහුණු නිලධාරීන් යොදා ගනිමින් එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද මෙහිදී අවධානය යොමු විය.

මෙම වැඩපිළිවෙළ පළමුව බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කර අනතුරුව සමස්ත දිවයින පුරා ව්‍යාප්ත කිරීම සහ එය ජාතික කාර්යයක් ලෙස සලකා කාර්යක්ෂමව මෙහෙයවීම සඳහා කාර්ය සාධක බලකායක් (Presidential Task Force) පිහිටුවීම පිළිබඳවද සාකච්ඡා කෙරිණි.

ජලභීතිකා රෝගය සාර්ථකව පාලනය කිරීම සඳහා ගුණාත්මකභාවයෙන් ඉහළ එන්නත් භාවිත කිරීම, එන්නත් ගබඩා කිරීමේ ශීතකරණ සැපයුම් දාමය (Cold Chain) නිසි පරිදි පවත්වාගෙන යාම සහ ඒ සඳහා මධ්‍යම රජයේ අධීක්ෂණය තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කමද විශේෂඥ නියෝජිතයෝ පැහැදිලි කළහ.

සත්ත්ව සුබසාධනය තහවුරු කිරීම මෙන්ම ජලභීතිකා රෝගය තුරන් කිරීම රජයේ ප්‍රමුඛ කාර්යයක් බවත්, පවතින ප්‍රායෝගික ගැටලු විසඳමින් පළාත් පාලන ආයතන, අදාළ අමාත්‍යාංශ සහ ජාත්‍යන්තර සංවිධාන එක්ව මෙම ජාතික වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා රජය අවශ්‍ය සහය ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය මෙහිදී පැවසුවාය.

මෙම සාකච්ඡාව සඳහා Battersea සංවිධානය නියෝජනය කරමින් Ms. Roxanne Sahar Nazir සහ ICAM සංවිධානය නියෝජනය කරමින් Dr. Elaine Francisca Hiby, Dr. Eric Joseph Brum, Mr. Patrick Gerard යන මහත්ම මහත්මීන් මෙන්ම කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන පශු වෛද්‍ය Dr. M. Ijas මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.