නව වෛද්‍ය උපකරණ සමඟ රජයේ රෝහල්වල පර්යේෂණ සේවා තවදුරටත් ශක්තිමත් - කැබිනට් ප්‍රකාශක

නව වෛද්‍ය උපකරණ සමඟ රජයේ රෝහල්වල පර්යේෂණ සේවා තවදුරටත් ශක්තිමත් - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

රෝහල් සඳහා නව වෛද්‍ය උපකරණ ලබාදීමත් සමඟ ස්කෑන් පරීක්ෂණ ඇතුළු බොහෝ පර්යේෂණ පෞද්ගලික අංශයට නොයා රජයේ රෝහල්වලින්ම සිදුකරගැනීමේ පහසුකම් මේ වන විට සැලසී ඇති බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අද (21) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

පසුගිය කාලයේ රජයේ රෝහල්වල සිදුකළ යුතු බොහෝ පර්යේෂණ පෞද්ගලික අංශයෙන් සිදුකරගෙන එන ලෙස රෝගීන්ට නිර්දේශ කළ බව සඳහන් කළ අමාත්‍යවරයා, එම තත්ත්වය වෙනස් කරමින් රජයේ රෝහල් තුළම පර්යේෂණ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව සඳහන් කළේය.

පෞද්ගලික රෝහල් සහ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන නියාමනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයට නීතිමය බලතල පවතින අතර, ඒ සඳහා පවතින පනත පැරණි එකක් බැවින් එහි සංයුතිය හා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැටලු මතුවී ඇති බව ද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම, එම පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නඩු කටයුත්තක් ද පවතින බවද සඳහන් කළේය.

නොබෝ කලකින් අදාළ පනත සංශෝධනය කිරීමේ කටයුතු සම්පූර්ණ කිරීමට අපේක්ෂා කරන බවත්, ඒ සඳහා අවශ්‍ය මූලික සංශෝධන කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යංශයට නියාමන බලතල නිසි පරිදි ශක්තිමත් කරමින් පෞද්ගලික රෝහල් සහ වෛද්‍ය මධ්‍යස්ථාන වඩාත් විධිමත්ව නියාමනය කිරීමට පියවර ගන්නා බව ද, දැනටත් ඒවායේ තත්ත්ව පරීක්ෂා කිරීම සහ නියාමන කටයුතු අඛණ්ඩව සිදුකරන බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වැඩිදුරටත් පැවසීය.