2007 අංක 54 දරණ ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය

2007 අංක 54 දරණ ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් පිළිබඳ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය
  • SocialShare:

2007 අංක 54 දරන ඖෂධවලට ඇබ්බැහි තැනැත්තන් (ප්‍රතිකාර හා පුනරුත්ථාපනය) පිළිබඳ පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමිව තිබේ.

මෙම පනත මඟින් මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන්ට ප්‍රතිකාර, පුනරුත්ථාපනය සහ පසු රැකවරණය ලබාදීම සඳහා නීතිමය රාමුවක් සලසා තිබෙන අතර, ප්‍රතිකාර සඳහා ප්‍රවේශය තහවුරු කිරීම, පුනරුත්ථාපනයට පහසුකම් සැලසීම සහ නැවත සමාජගත කිරීම ප්‍රවර්ධනය කිරීම එහි ප්‍රධාන අරමුණ වේ.

රට තුළ මත්ද්‍රව්‍ය මත යැපෙන පුද්ගලයන් සංඛ්‍යාව අවම කිරීමේ රජයේ ප්‍රතිපත්තිය සහ ප්‍රථම වරට මත්ද්‍රව්‍ය භාවිත කරන පුද්ගලයන් නිසි ලෙස හඳුනාගෙන ප්‍රතිකාර හා පුනරුත්ථාපනයට යොමු කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගනිමින්, විධිමත් ප්‍රතිකාර හා පුනරුත්ථාපන යාන්ත්‍රණයක් ශක්තිමත් කිරීම සඳහා පනතට අවශ්‍ය සංශෝධන හඳුන්වාදීම අත්‍යවශ්‍ය බව රජය පෙන්වා දෙයි.

ඒ අනුව, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව, පනත සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දීමටත්, අදාළ සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකවරයාට උපදෙස් දීමටත් අමාත්‍ය මණ්ඩලය තීරණය කළේය.