පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අයත් කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු මාර්ග මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) වෙත පවරාගෙන සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා නිලධාරි කමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.
මෙරට A සහ B ශ්‍රේණි මාර්ග, අධිවේගී මාර්ග සහ ඒවාට අදාළ පාලම් ඇතුළත් ජාතික මහා මාර්ග පද්ධතිය ඉදිකිරීම, ප්‍රතිසංස්කරණය කිරීම, වැඩිදියුණු කිරීම, නඩත්තු කිරීම සහ කළමනාකරණය කිරීමේ වගකීම මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පැවරී ඇත.
එහෙත්, මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන, වෙනත් බලධාරීන් යටතේ පවතින සහ කඩිනමින් ප්‍රතිසංස්කරණය කළ යුතු මාර්ග මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන සංවර්ධනය කරන ලෙස දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ අනෙකුත් ආයතන විසින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවලට අයත් එවැනි මාර්ග 60ක් පමණ මේ වන විට හඳුනාගෙන ඇති අතර, ඒවා ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ නිර්දේශ ලබාදීම සඳහා බහුපාර්ශ්වීය නිලධාරි කමිටුවක් පත් කිරීමට තීරණය කර ඇත.
ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අනුව පත් කෙරෙන මෙම කමිටුවට මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය, ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, මුදල් කොමිෂන් සභාව, පළාත් ප්‍රධාන ලේකම්වරයෙකු, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් මාර්ග සංවර්ධන අධිකාරියක සාමාන්‍යාධිකාරිවරයෙකු ඇතුළත් වේ.
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත්කළ මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති අතර, නිලධාරි කමිටුවේ නිර්දේශ මත අදාළ මාර්ග මාර්ග සංවර්ධන අධිකාරිය වෙත පවරාගෙන ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට නියමිතය.


