නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe බස් රථ 600ක්

නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe බස් රථ 600ක්
  • SocialShare:

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ (ශ්‍රී ලංගම) නගරාන්තර හා දුරගමන් සේවා නවීකරණය කරමින් මගීන්ට වඩාත් සුවපහසු සහ ආරක්ෂිත ප්‍රවාහන සේවාවක් ලබාදීමේ අරමුණින් වායුසමනය කළ (Deluxe) නව බස් රථ 600ක් මිලදී ගැනීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

2026 වර්ෂයේ රජයේ ආයෝජන වැඩසටහන යටතේ ශ්‍රී ලංගම සඳහා ආසන 49 සිට 54 දක්වා ධාරිතාවකින් යුත් Standard මාදිලියේ නව බස් රථ 600ක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් මිලියන 14,400ක ප්‍රතිපාදන වෙන් කර තිබුණි.

කෙසේ වෙතත්, එම ප්‍රතිපාදන වෙන් කිරීමෙන් අනතුරුව හඳුන්වා දෙන ලද මාර්ග ආරක්ෂණ සැලැස්ම 2025–2026 යටතේ මගී ප්‍රවාහනය සඳහා යොදා ගනු ලබන බස් රථ ආරක්ෂිත වාහන ලෙස හඳුනාගෙන ඇති අතර, නගරාන්තර හා දුරගමන් සේවා සඳහා භාවිතයට සුදුසු බස් රථවල අවම පිරිවිතර ද සකස් කර ඇත.

එම පිරිවිතරයන්ට අනුව නගරාන්තර හා දුරගමන් සේවා සඳහා වායුසමනය කළ Deluxe මාදිලියේ බස් රථ යෙදවීම සුදුසු බව නිර්දේශ කර තිබේ.

ඒ අනුව, දැනටමත් ප්‍රතිපාදන වෙන් කර ඇති Standard මාදිලියේ බස් රථ 600 වෙනුවට, මගී පහසුව සහ ආරක්ෂාව ඉහළ නැංවෙන පරිදි වායුසමනය කළ Deluxe මාදිලියේ බස් රථ මිලදී ගැනීම සඳහා අවශ්‍ය ඉදිරි පියවර ගැනීමට වැඩබලන ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමි වී තිබේ.

මෙම ව්‍යාපෘතිය මඟින් ශ්‍රී ලංගම නගරාන්තර හා දුරගමන් සේවාවන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම, මගීන්ට වඩාත් සුවපහසු ගමන් අත්දැකීමක් ලබාදීම සහ මාර්ග ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල පොදු ප්‍රවාහන සේවාවක් ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.