ජාත්‍යන්තර ජයගත් රුමේෂ් තරංග ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි

ජාත්‍යන්තර ජයගත් රුමේෂ් තරංග ක්‍රීඩා අමාත්‍යවරයා හමුවෙයි
  • SocialShare:

කෙන්යාවේ පැවති “කිප් කීනෝ ක්ලැසික්” මලල ක්‍රීඩා තරඟාවලියේදී මීටර් 89.28ක දක්ෂතාවයක් දක්වමින් නව තරඟ වාර්තාවක් පිහිටවූ හෙල්ල විසි කිරීමේ ශූර රුමේෂ් තරංග, ඔහුගේ පුහුණුකරු සමඟ ඊයේ (27) පෙරවරුවේ තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා හමුවිය.


මෙහිදී රුමේෂ් තරංග සහ ඔහුගේ පුහුණුකරු, ක්‍රීඩා අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන “මිෂන් ඔලිම්පික්” (Mission Olympic) වැඩසටහන හරහා ක්‍රීඩකයින්ට ලබා දෙන මූල්‍යමය හා තාක්ෂණික සහාය පිළිබඳව සිය විශේෂ ස්තූතිය අමාත්‍යවරයා වෙත පළ කළහ.
මෙම වැඩසටහන මගින් ලැබෙන සහාය තමන් වැනි ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ජයග්‍රහණ කරා ළඟා වීමට විශාල ශක්තියක් වූ බව රුමේෂ් තරංග මෙහිදී අවධාරණය කළේය.
රුමේෂ් තරංගගේ ජාත්‍යන්තර දක්ෂතා ඇගයීමට ලක් කළ අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා, ඔහුගේ ඉදිරි තරඟාවලි සැලසුම් පිළිබඳවද සාකච්ඡා කළේය. ශ්‍රී ලංකාවට ඔලිම්පික් පදක්කමක් දිනා දීම සඳහා ඔහු සතු හැකියාව පිළිබඳ අවධානය යොමු කළ අමාත්‍යවරයා, ඒ සඳහා අවශ්‍ය සියලු මූල්‍යමය ප්‍රතිපාදන, විදෙස් පුහුණුවීම් සහ අනෙකුත් පහසුකම් කිසිදු අඩුවකින් තොරව ලබා දීමටද පොරොන්දු විය.
“රුමේෂ් තරංග යනු මෙරටට ඔලිම්පික් බලාපොරොත්තුවක් ගෙන එන ක්‍රීඩකයෙකි. ඔහුට සහ ඔහුගේ පුහුණුකරුට අවශ්‍ය උපරිම සහාය ලබා දීම අමාත්‍යාංශයේ වගකීමක් බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.