ඌව පළාතේ දරුවන්ගේ සහ තරුණ තරුණියන්ගේ ක්‍රීඩා කුසලතා ජාත්‍යන්තර මට්ටම දක්වා වර්ධනය කිරීමේ අරමුණින්, බණ්ඩාරවෙල කිණ්ගම ක්‍රීඩා සංකීර්ණය කේන්ද්‍ර කරගනිමින් නවීන පහසුකම්වලින් සමන්විත පිහිනුම් තටාකයක් ඉදිකිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි නියෝජ්‍ය අමාත්‍ය දිනිදු හෙන්නායක මහතා පවසයි.
ක්‍රීඩා අමාත්‍යාංශයේ රුපියල් මිලියන 150ක පූර්ණ මූල්‍ය ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක කෙරෙන මෙම ව්‍යාපෘතිය මඟින් ප්‍රදේශයේ පාසල් දරුවන්ට සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නවීන පුහුණු පහසුකම් සැලසීම අපේක්ෂා කෙරේ.
ඒ තුළින් ඌව පළාතෙන් ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂ පිහිනුම් ශූරයින් බිහිකිරීමටත්, ප්‍රදේශයේ ක්‍රීඩා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමටත් සැලකිය යුතු දායකත්වයක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ව්‍යාපෘතියේ මූලික කටයුතු නිරීක්ෂණය කිරීම සඳහා තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය දිනිදු හෙන්නායක මහතා, බණ්ඩාරවෙල මහ නගර සභාවේ නගරාධිපති සාගර විශ්වවික්‍රම මහතා, ප්‍රාදේශීය සභා සභාපති වසන්ත සංජීව මහතා ඇතුළු මහජන නියෝජිතයන් සහ නිලධාරීන් පිරිසක් පසුගියදා ක්ෂේත්‍ර නිරීක්ෂණයක ද නිරත වූහ.
මෙම නවීන පිහිනුම් තටාක සංකීර්ණය සඳහා නිල මුල්ගල් තැබීමේ උත්සවය එළඹෙන ජූලි 7 වැනිදා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කිණ්ගම ක්‍රීඩා සංකීර්ණ භූමියේදී පැවැත්වීමට නියමිතය.


