50 වැනි ජාතික මහා ක්රීඩා උළෙල - 2026 ට සමගාමීව පැවැත්වුණු කාන්තා සහ පිරිමි පාපැදි තරඟාවලි අද(04) සාර්ථකව අවසන් වූ අතර, කාන්තා ශූරතාව වයඹ පළාතටත්, පිරිමි ශූරතාව සහ පිරිමි කණ්ඩායම් ශූරතාව බස්නාහිර පළාතටත් හිමි විය.
කාන්තා පාපැදි තරඟයේ ශූරතාව වයඹ පළාත නියෝජනය කළ ඒ.එම්. දිනේෂා දිල්රුක්ෂි විසින් දිනාගත් අතර, ඇය තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්යාංශය ඉදිරිපිටින් ආරම්භ වූ තරඟය පැය 2යි මිනිත්තු 16යි තත්පර 03ක (Hand Timing) කාලයකින් නිමා කළාය.
තරඟයේ දෙවැනි ස්ථානය වයඹ පළාතේ පී.ඒ.එස්. ප්රියදර්ශනීට හිමි වූ අතර, තෙවැනි ස්ථානය බස්නාහිර පළාතේ ආකාශා සඳමිණි විසින් දිනා ගන්නා ලදී. තරඟයේ දක්ෂතම මධ්යන්තර වේග ධාවිකාව (Intermediate Sprinter) ලෙස වයඹ පළාතේ ඩබ්ලිව්.ආර්. මධුමාලි ප්රනාන්දු සම්මානයට පාත්ර වූවාය.
මේ අතර, පිරිමි පාපැදි මාර්ග ධාවන තරඟයේ ශූරතාව බස්නාහිර පළාත නියෝජනය කළ එම්. අවිශ්ක මැඩොන්සා දිනා ගත්තේ තරඟය පැය 3යි මිනිත්තු 56යි තත්පර 26ක කාලයකින් නිමා කරමිනි.
දෙවැනි ස්ථානය බස්නාහිර පළාතේ පී.පී.පී.එම්.ජී. සිල්වාට හිමි වූ අතර, තෙවැනි ස්ථානය වයඹ පළාතේ එච්.එම්.එස්. පින්තූ විසින් දිනා ගන්නා ලදී.


