කිරුළපන "The Residencies Kirulapone" මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට

කිරුළපන "The Residencies Kirulapone" මහල් නිවාස සංකීර්ණය ජනතා අයිතියට
  • SocialShare:

කොළඹ නාගරික ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී ජනතාව සඳහා ඉදිකරන ලද කිරුලපන ඩී. එම්. කොළඹගේ මාවතේ පිහිටි "The Residencies Kirulapone" නව මහල් නිවාස සංකීර්ණය අද (04) ජනතා අයිතියට පත් කෙරිණි.

B1 සහ B2 ලෙස පර්යන්ත දෙකකින් සමන්විත මෙම ව්‍යාපෘතියේ එක් පර්යන්තයක මහල් 11ක් සහ නිවාස ඒකක 624ක් ඉදිකර ඇති අතර, සමස්ත ව්‍යාපෘති පිරිවැය රුපියල් මිලියන 5,784කි.

ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ (AIIB) මූල්‍ය දායකත්වය යටතේ ක්‍රියාත්මක මෙම ව්‍යාපෘතිය, ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරන කොළඹ නගර පුනර්ජීවන වැඩසටහන යටතේ ඉදිකර ඇත.

මෙම නිවාස ව්‍යාපෘතිය මගින් පූර්වාරාම ජනපදය, නාරාහේන්පිට සමගි මාවත, කිරිමණ්ඩල මාවතේ සමගි වත්ත, කැළණිවැලි දුම්රිය මාර්ග නවීකරණ ව්‍යාපෘතිය හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සහ පිච්චමල්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් සඳහා නිවාස පහසුකම් සලසා දී තිබේ.

ගිණි නිවන පද්ධති, ගෑස් සහ විදුලි පද්ධති, ජල හා මලාපවහන පහසුකම්, විදුලි සෝපාන සහ පොදු රථගාල ඇතුළු අංගෝපාංගවලින් සමන්විත මෙම සංකීර්ණයේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීම සඳහා පෙර පාසලක්, දිවා සුරැකුම් මධ්‍යස්ථානයක්, ප්‍රජා ශාලාවක්, සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයක්, ග්‍රාම නිලධාරි කාර්යාලයක්, පොලිස් උප පොලක් සහ ගිණි නිවීම් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ද ස්ථාපිත කර ඇත.

ව්‍යාපෘතියේ දෙවැනි අදියර යටතේ මහල් නිවාස සංකීර්ණයට ප්‍රවේශය පහසු කිරීම සඳහා නව ප්‍රවේශ මාර්ග පහක් සංවර්ධනය කිරීමට නියමිත අතර, කිරුලපන ඇල ආශ්‍රිත ජල මාර්ග සංවර්ධනය කිරීම, ජල ගැලීම් අවම කිරීම සඳහා ජල රඳවන තටාකයක් ඉදිකිරීම සහ වෙළඳසැල් 38කින් සමන්විත ව්‍යාපාරික ගොඩනැගිල්ලක්, ඇවිදින මංතීරු සහ ශරීර සුවතා මධ්‍යස්ථානයක් ඉදිකිරීම ද සැලසුම් කර තිබේ.