රටේ පුරවැසියන් වෙත උසස් ප්‍රමිතියෙන් යුත් සෞඛ්‍ය සේවාවක් ලබා දීමේ ජාතික අරමුණෙහි ප්‍රමුඛ පියවරක් ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය හැඳින්විය හැකි බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම ඔස්සේ වෙනස්වන සමාජීය අවශ්‍යතා සහ ගෝලීය සෞඛ්‍ය ප්‍රවණතා සපුරාලීමට හැකි, දැනුමෙන් හා ආචාරධර්මීය ගුණාංගයන්ගෙන් යුතු වෛද්‍යවරයෙකු බිහි කිරීම අප රජයේ අරමුණ බව ඇය ප්‍රකාශ කළාය.
2026.07.04 දින සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය සඳහා ඉදිවූ නව පීඨ සංකීර්ණය සිසු අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියාය.
සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය තුළ මේ වන විට සිසුන් 750 කට ආසන්න ප්‍රමාණයක් අධ්‍යාපනය හදාරමින් ඇති අතර, වාර්ෂිකව සිසුන් 160 කට ආසන්න ප්‍රමාණයක් වෛද්‍ය අධ්‍යාපනය සඳහා මෙම විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම සිදු කෙරෙයි.
මෙම නව වෛද්‍ය පීඨ සංකීර්ණය ඉදිකිරීමේ ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය විසින් රුපියල් මිලියන 2876කප පමණ මුදලක් දරා ඇති අතර, සෞදි රාජ්‍ය විසින් රුපියල් බිලියන 15කට ආසන්න මුදලක් ලබාදී ඇත.
මෙම පීඨ සංකීර්ණය, සිසුන් 500 කට එකවර නේවාසිකාගාර පහසුකම් ලබාදිය හැකි නේවාසිකාගාරයකින් සහ සිසුන් 1060 දෙනෙකුට එකවර අසුන් ගතහැකි ශ්‍රවණාගාරයකින් හා පරිපාලන ගොඩනැගිල්ලකින්ද සමන්විතය.
අසුන් 250 කින් සමන්විත දේශන ශාලා දෙකක්ද, සිසුන් 200 කට අසුන් ගත හැකි දේශන ශාලාවකින්ද,සිසුන් 160 කට ආසන්න සංඛ්‍යාවකට අසුන්ගත හැකි දේශන ශාලා තුනක්ද වශයෙන් සමස්ත දේශන ශාලා හයක් මෙහි අන්තර්ගතය.
තවද පෙර සායනික මධ්‍යස්ථානයකින් සහ පුස්තකාල, ආපනශාලා සහ කාර්ය මණ්ඩල නේවාසිකාගාර වැනි නොයෙකුත් පහසුකම්ද දක්නට ලැබෙන මෙම වෛද්‍ය පීඨ පරිශ්‍රය අක්කර 20 ක භූමි ප්‍රමාණයක් දක්වා විහිදී ඇත.
එමෙන්ම මෙම වෛද්‍ය පීඨය ඉදිකිරීම සඳහා වූ ව්‍යාපෘතියට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහල ආශ්‍රිතව අංගසම්පූර්ණ විද්‍යාගාර, රසායනාගාර සහ අනෙකුත් පහසුකම්වලින්ද සමන්විත වූ මහල් නවයකින් යුත් මහාචාර්ය ඒකකයක්ද මේ වනවිට ඉදිවෙමින් පවතියි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ නව වෛද්‍ය පීඨ සංකීර්ණය විවෘත කිරීමේ කටයුතු අග්‍රාමාත්‍යවරිය විසින් සිදුකළ අතර, අනතුරුව පීඨ සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකද ඇය නිරතවූවාය.
මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරිය මෙසේද පවසා සිටියාය.
මෙම අවස්ථාව අපගේ උසස් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රවල අඛණ්ඩ සංවර්ධනයේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා.මෙම පීඨ සංකීර්ණය ස්ථාපනය කිරීම ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනයේ පර්යේෂණ සහ සායනික පුහුණු හැකියාවන් ශක්තිමත් කිරීම සඳහා සිදු කළ වැදගත් ජාතික ආයෝජනයක් ලෙස සැලකිය හැකියි.
වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය මත තමයි සෞඛ්‍ය පද්ධතියක ශක්තිමත් බව සහ ඔරොත්තු දීමේ හැකියාව රඳා පවතින්නේ. විද්‍යාත්මක දැනුම, සායනික විශ්වාසය, සදාචාරාත්මක අඛණ්ඩතාව සහ මහජන සේවය සඳහා දැඩි කැපවීමකින් යුත් නව පරපුරක වෛද්‍ය වෘත්තිකයන් බිහි කිරීමට මෙම පීඨය දායක වනු ඇති බව මා විශ්වාස කරනවා.
අපේ රටේ උසස් ප්‍රමිතියකින් යුත් වෛද්‍ය අධ්‍යාපනයක් සහ වෛද්‍ය සේවාවක් තිබීම සම්බන්ධයෙන් අපට ඇත්තේ අභිමානවත් උරුමයක්. එය අප සතු ශක්තිමත් පදනමක් වන නිසා එය ආරක්ෂා කර ගැනීමටත්, තවදුරටත් ශක්තිමත් කිරීමටත් අප අපේක්ෂා කළ යුතුයි.
මෙම පීඨ සංකීර්ණය අක්කර 20ක භූමි භාගයකින් තුනෙන් දෙකක පමණ ප්‍රමාණයක සංවර්ධනය කිරීමට මඟ පෑදූ, ඇමරිකානු ඩොලර් මිලියන 50ක ත්‍යාගශීලී මූල්‍ය ආධාර ලබා දුන් සවුදි සංවර්ධන අරමුදලට (Saudi Fund for Development) මා අවංක කෘතඥතාව පළ කර සිටිනවා. මෙම ආයෝජනය ඉදිරි පරම්පරාවන්ට ප්‍රයෝජනවත් වන, ශ්‍රී ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් සිදු කළ සදාකාලික දායකත්වයක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.
පරිපාලන ගොඩනැගිල්ල සහ පැරා-ක්ලිනිකල් (Paraclinical) ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 1096 ක ආයෝජනයක් සිදු කිරීම ඔස්සේ මෙම සහයෝගය තවදුරටත් ශක්තිමත් කරන්න පුළුවන් වුණා. මීට අමතරව, අත්‍යවශ්‍ය උපකරණ සඳහා රුපියල් මිලියන 70ක් සහ අධ්‍යයන හා ඉගෙනුම් සම්පත් ශක්තිමත් කිරීම සඳහා AHEAD ව්‍යාපෘතිය මගින් තවත් රුපියල් මිලියන 194ක දායකත්වයක්ද ලබා දී තිබෙනවා.
රජයක් ලෙස ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීමටත්, උසස් සෞඛ්‍ය සේවාවන් සැමට ලබා දීමටත් උත්සාහ කරන මේ කාලයේ, මේ පීඨයට විශාල වගකීමක් පැවරෙනවා. රටට අවශ්‍ය දක්ෂ සෞඛ්‍ය වෘත්තිකයන් සහ පර්යේෂකයන් බිහි කිරීමට මෙම පීඨය මූලික විය යුතුයි කියලා මම අපේක්ෂා කරනවා.
සබරගමුව පළාතට පමණක් නොවෙයි, මුළු රටටම සේවය සලසන, වෛද්‍ය අධ්‍යාපනය සහ නව නිර්මාණ අතින් විශිෂ්ට මධ්‍යස්ථානයක් ලෙස මෙම පීඨය දියුණු වනු ඇතැයි මට විශ්වාසයි.
මෙම අවස්ථාව සඳහා සෞදි අරාබි තානාපති කාලිඩ් හමුද් නසාර් අල්දසාම් අල්කහ්තානි මැතිතුමා, සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න මහත්මිය, බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය මහාචාර්ය සුනිල් සෙනෙවි මහතා, අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා ඇතුළු රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පිරිසක් සහභාගී වූහ.
එමෙන්ම සෞදි සංවර්ධන අරමුදලේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ඉංජිනේරු ෆයිසාල් එම්. අල්කහ්තානි මහතා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව මහතා, සබරගමුව විශ්වවිද්‍යාලයේ වැඩබලන උපකුලපති මහාචාර්ය එස්. ඒ. ආරියදුරෙයි මහතා, සබරගමුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය එම්. එන්. වික්‍රමරත්න මහත්මිය ඇතුළු උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරීන්, පීඨාධිපතිවරුන්, මහාචාර්යවරුන් සහ සිසුන් පිරිසක්ද මේ සදහා සහභාගී වූහ.


