පොළොන්නරුව, ජයන්තිපුර ප්‍රදේශයේ ජනතාවට නවීන හා කාර්යක්ෂම තැපැල් සේවාවක් සැපයීමේ අරමුණින් රුපියල් මිලියන 29.5ක වියදමින් ඉදිකළ අංගසම්පූර්ණ නව තැපැල් කාර්යාලය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම අවස්ථාවේදී අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ යටිතල පහසුකම් සංවර්ධනය, නවීන තාක්ෂණය භාවිතය සහ මානව සම්පත ශක්තිමත් කිරීම හරහා ජනතා විශ්වාසය දිනාගන්නා තැපැල් සේවාවක් ගොඩනැගීමට රජය කටයුතු කරමින් සිටින බවයි.
1958 වසරේ උප තැපැල් කාර්යාලයක් ලෙස ආරම්භ වූ ජයන්තිපුර තැපැල් කාර්යාලය, නව රජය යටතේ අභිනවයෙන් ඉදිකර ජනතා අයිතියට පත් කළ හත්වැනි තැපැල් කාර්යාල ගොඩනැගිල්ල බව ද සඳහන් වේ.
නව ගොඩනැගිල්ල මඟින් ජයන්තිපුර හා අවට ප්‍රදේශවල පවුල් 13,300කට සෘජුවම තැපැල් හා මූල්‍ය සේවා ලබාදීමට හැකිවන අතර, රාජ්‍ය හා පෞද්ගලික ආයතන, බැංකු සහ පාසල් ඇතුළු ආයතන රැසකට ද සේවා සැපයීමට නියමිතය.


