41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ - 2026 සඳහා අයදුම්පත් කැඳවයි

41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ - 2026 සඳහා අයදුම්පත් කැඳවයි
  • SocialShare:

ශ්‍රී ලාංකේය ජ්‍යෙෂ්ඨ කලාකරුවන් ඇගයීමට ලක් කරමින් රාජ්‍ය සම්මානයෙන් උපහාර දැක්වීම සඳහා සංවිධානය කරනු ලබන 41 වන කලාභූෂණ රාජ්‍ය සම්මාන උලෙළ - 2026 සඳහා අයදුම්පත් කැඳවා තිබේ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන මෙම සම්මාන උලෙළේ අරමුණ වන්නේ මෙරට කලා ක්ෂේත්‍රයට දීර්ඝ කාලයක් සේවය කළ ප්‍රවීණ කලාකරුවන් ඇගයීමයි.

කලාභූෂණ සම්මානය සඳහා මේ වන විට අයදුම්පත් ඉදිරිපත් කර නොමැති, ඒ සඳහා අයදුම් කිරීමට බලාපොරොත්තු වන, 2026 ජුනි 30 වන දිනට වයස අවුරුදු 60 සම්පූර්ණ වූ සහ කලාකරුවෙකු ලෙස වසර 15කට වැඩි කාලයක් කටයුතු කළ ප්‍රවීණ කලාකරුවන්ට අයදුම්පත් ඉදිරිපත් කළ හැකිය.

චක්‍රලේඛයේ සඳහන් පරිදි ප්‍රවීණ කලාකරුවෙකු බව සනාථ කරන සහතික හා ලියකියවිලිවල සහතික කළ ඡායා පිටපත් අයදුම්පතට අමුණා 2026 අගෝස්තු 30 දිනට පෙර අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත යොමු කළ යුතු බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

වැඩිදුර තොරතුරු සඳහා 0112 882592 සහ 0112 872031 යන දුරකථන අංක ඔස්සේ විමසීම් කළ හැකිය.
චක්‍රලේඛය සහ අයදුම්පත සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙන් ලබාගත හැකිය.