පරිසර අමාත්‍යංශය මගින් ක්‍රියාත්මක “කඩොලානට දලුලන්න ඉඩදෙන්න”ජාතික වැඩසටහන පසුගිය වසරේ (2025) ජගත් කඩොලාන දිනයට සමගාමිව ජුලි 26 වන දින පුත්තලම පාලවිය, කරඹ දී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.
ජුලි මස 26 වන දිනට යෙදෙන ජාත්‍යන්තර කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දින වැඩසටහන 2026.07.27 දින පරිසර අමාත්‍යංශයේ ශ්‍රවනාගාරයේදී පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව ඇති අතර එහිදී වනස්පති ජාතික වැඩසටහනට සමගාමිව පුත්තලම දිස්ත්‍රික්කයේ කඩොලාන වනාන්තර 08ක් රක්ෂිත බවට පත් කිරීම සදහා වන ගැසට් පත්‍ර සදහා ගරු පරිසර අමාත්‍යතුමන් විසින් අත්සන් තැබීමට නියමිතයි.
මෙරට වනාන්තර පද්ධතිය මතු පරම්පරාවට රක්ෂිත කර ආරක්ෂා කිරීමේ ජාතික වැඩසටහනේ තවත් පියවරක් ලෙස කඩොලාන පරිසර පද්ධති ආරක්ෂා කර රැක ගැනීම සඳහා නව රජයේ පරිසර ප්‍රතිපත්තියට අනුකූලව “කඩොලානට දලුලන්න ඉඩදෙන්න” නමින් නව වැඩසටනක් ආරම්භ විය.
මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රීලංකාවේ විවිධ කඩොලාන පවතින පාරිසරික පද්ධතින් තෝරාගනිමින් කඩොලාන වනාන්තර රක්ෂිත කර ආරක්ෂා කරනු ලබයි.2026 වසරේ ජුලි 26 දිනට යෙදෙන ජගත් කඩොලාන දිනයට සමගාමිව ප්‍රධාන ලෙස කඩොලාන පද්ධතින් 08 ක් හදුනාගෙන ඇත.
01)තිල්ලිඅඩිය කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 13.06ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරයකි. දැඩි සංවේදී පරිසර පද්ධතියක් වන මෙම කඩොලාන වනාන්තරය අන්තර උදම් කලාපය තුල විහිදී ඇත.
02) සම්මට්ටවාඩිය කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 10.91ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරයකි. මෙම පරිසර පද්ධතිය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල අධි සංවේදී කලාපයක් වන අතර කාබන් තිර කිරීමේ හැකියාවක් පවතින මෙම කඩොලාන වනාන්තරය ඉතා සුවිශේෂී පරිසර පද්ධතියකි.
03) මුතලප්පාලි කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 22.74ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරයකි.
04) කුඩාව කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 4.43 ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරයකි. මෙම පරිසර පද්ධතිය ජෛව විවිධත්වයෙන් ඉතා ඉහල අධි සංවේදී කලාපයක් වන අතර කාබන් තිර කිරීමේ හැකියාවක් පවතින මෙම කඩොලාන වනාන්තරය ඉතා සුවිශේෂී පරිසර පද්ධතියකි.
05) කුඹුටු කුලියාව කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ ආරච්චිකට්ටුව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශයට අයත් හෙක්ටයාර්. 4.47ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරයකි. දැඩි සංවේදී පරිසර පද්ධතියක් වන මෙම කඩොලාන වනාන්තරය අන්තර උදම් කලාපය තුල විහිදී ඇත.
06) කරඹේ කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 76.82ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරයකි.
07) කන්දකුලිය කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 17.47ක භූමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරයකි.
08) මණ්ඩල කුඩාව කඩොලාන රක්ෂිත වනය පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම අඩවියේ කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් හෙක්ටයාර් 12.82ක භුමි ප්‍රමාණයක පැතිර පවතින කඩොලාන වනාන්තරයකි.
“කඩොලානට දලුලන්න ඉඩදෙන්න”ජාතික වැඩසටහනේ ප්‍රථම අදියර යටතේ පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් හලාවත අඩෙවි වන කාර්යාලයට අයත් මරම්බැට්ටිය මූකලාන, වවුල්කැලේ, මැරවල C, මැරවල B, මැරවල A, මැරවල, කුසල සහ කරුකපනේ B යන කඩොලාන වනාන්තරවලින් හෙක්ටයාර 67කට ආසන්න ප්‍රමාණයක් රක්ෂිත ලෙස නම් කෙරිණි.
ලංකාවේ මේ වන විට පවතින සමස්ත කඩොලාන භුමි ප්‍රමාණය හෙක්ටයාර 12,500ක් පමණ වන අතර එයින් කඩොලාන විශාල ලෙස ව්‍යාප්තව ඇත්තේ පුත්තලම දිස්ත්‍රික්කයේ මෝය ප්‍රදේශ ආශ්‍රිතව වේ.
ඝනව වැඩුණු කඩොලාන නිරිත දිග, දකුණු ඊසාන ප්‍රදේශයන් හි කලපු ආශ්‍රිතව තැනින් තැන විසිරී ඇති අතර දැනට ලංකාවේ කඩොලාන විශේෂ 11ක් පමණ වාර්තා වී ඇති බවට පර්යේෂණයන්ගෙන් කරුණුවලින් අනාවරණය වේ.
කඩොලාන පරිසර පද්ධතිය මඟින් ලබා දෙන පාරිසරික, ආර්ථික හා සමාජයීය සේවාවන් සැලකිල්ලට ගනිමින් එහි සංරක්ෂණය ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස සලකා 2015 වර්ෂයේ පැවති UNESCO සමුළුවේදී සෑම වසරකම ජුලි 26 දින අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය ලෙස ප්‍රකාශයට පත් කර ඇත.
මෙම සුවිශේෂිත පරිසර පද්ධතියෙහි වැදගත්කම පිළිබඳව දැනුවත්භාවය වැඩිදියුණු කිරීම සහ එහි කිරසර කළමනාකරණය, සංරක්ෂණය සහ භාවිතය සඳහා විසඳුම් සෙවීමට පෙළඹවීම මෙම දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වේ.
මෙම ජාත්‍යන්තර දිනයේ වැදගත්කම සැලකිල්ලට ගනිමින්, පරිසර අමාත්‍යාංශය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව, අන්තර්ජාතික කඩොලාන පරිසර පද්ධති සංරක්ෂණ දිනය සැමරීමේ ජාතික උත්සවය 2026 ජූලි 27 වන දින පරිසර අමාත්‍යාංශයේදී ව්ශේෂ වැඩසටහන් කිහිපයක් පැවැත්වීමට නියමිතයි.
මෙම ජාතික වැඩසටහන, ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි සහ පරිසර අමාත්‍යාංශයේ ලේකම් කේ. ආර්. උඩුවාවල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්, රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන, සංවර්ධන හවුල්කරුවන්, විද්වතුන් සහ විශ්වවිද්‍යාල සිසුන් මෙන්ම අනෙකුත් ප්‍රධාන පාර්ශ්වකරුවන්ගේ ද සහභාගීත්වයෙන් පැවැත්වෙනු ඇති.


