අධිකරණ අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව කරුණු සහ සාක්ෂි මත පදනම් විය යුතු බවත්, ජනවරම අනුව නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ගෞරවය සහ ජනතා විශ්වාසය යළි ගොඩනැගීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව පිළිබඳ 2026 ජූලි 24 දින පාර්ලිමේන්තුවේ පැවති විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමිය මේ බව ප්‍රකාශ කළාය.
විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය අවධාරණය කළේ විපක්ෂය විසින් ඉදිරිපත් කළ චෝදනා කිසිදු කරුණක් හෝ සාක්ෂියක් මත තහවුරු කිරීමට අපොහොසත් වී ඇති බවත්, ඔවුන්ගේ තර්ක බොහෝ දුරට වාචික සහ පුද්ගලික ප්‍රහාර මත පදනම් ව ඇති බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,
"ජූලි 5 සහ 6 දිනවල මුහුණ දීමට සිදුවූ සිද්ධිය ඉතාමත් ඛේදනීයයි.ඉන් සිදු වූ ජීවිත හානි කිසිසේත්ම පිළිගත නොහැකියි, ඒ වගේම කිසිදු ආකාරයකින් එය සාධාරණීකරණය කළ නොහැකි දෙයක්.
කෙසේ වෙතත්, එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා පමණක් වගකිව යුතු බවටත්, සිද්ධියට පෙර, සිදුවන අවස්ථාවේ සහ ඉන් පසුව ඔහුගේ ක්‍රියාකලාපය ජනතා විශ්වාසය කඩකිරීමක් වූ බවටත් විපක්ෂය නගන චෝදනා, කරුණු සහ සාක්ෂි මත ඔප්පු කළ යුතුයි.
සභාවේ ඇතිකරන ඝෝෂාවෙන්, පුද්ගලික ප්‍රහාරවලින්, ද්වේෂ සහගත ප්‍රකාශවලින් සත්‍ය බව තහවුරු වන්නේ නැහැ.
අද අපට අසන්න වෙලා තිබෙන්නේ සත්‍යය විකෘති කිරීමක්, කරුණු වැරදි ලෙස ඉදිරිපත් කිරීමක්, අර්ධ සත්‍යයන් සහ කැබිනට් අමාත්‍යවරයෙකුට ද්වේෂ සහගත ප්‍රහාර එල්ල කිරීමක් පමණයි. එවැනි දේවලින් මෙම විශ්වාසභංග යෝජනාවේ අරමුණ තහවුරු වන්නේ නැහැ."
වර්තමාන රජය බලයට පත්වීමට පෙර සිටම බන්ධනාගාර පද්ධතියේ පැවති ව්‍යුහාත්මක දුර්වලතා වසර ගණනාවක් තිස්සේ විසඳා නොතිබූ බවද අග්‍රාමාත්‍යතුමිය පෙන්වා දුන්නාය.
2022 වසරේ සිට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පැවති නමුත් වර්තමාන රජය ඒවා පිරවීමට පියවර ගෙන ඇති බවද ඇය සඳහන් කළාය.
"පසුගිය වසර තුළ බන්ධනාගාර නියාමකවරුන් 695 දෙනෙකු බඳවාගෙන තිබෙනවා. තවත් 190 දෙනෙකු බඳවා ගැනීමේ කටයුතු සිදුවන අතර සහකාර බන්ධනාගාර අධිකාරීවරුන් 18 දෙනෙකු පත්කර තිබෙනවා. 2022 වසරෙන් පසු මෙම පුරප්පාඩු පිරවීම ආරම්භ වූ පළමු අවස්ථාව මෙයයි."
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම සඳහා පුරප්පාඩු පිරවීම, අත්‍යවශ්‍ය උපකරණ සඳහා ප්‍රතිපාදන වෙන් කිරීම, ප්‍රසම්පාදන ක්‍රියාවලිය ආරම්භ කිරීම සහ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා ක්‍රියාපටිපාටි සමාලෝචනය කිරීම ඇතුළු ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට ක්‍රියාත්මක කර ඇති බවද අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
රක්ෂිත බන්ධනාගාරවල රඳවා සිටින පිරිස අවම කිරීමේ අවශ්‍යතාව පිළිබඳ අදහස් දැක්වූ අග්‍රාමාත්‍යතුමිය,
විෂ වර්ග සහ අන්තරායකර ඖෂධ පනත සංශෝධනය කිරීම ඇතුළු නීති ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුවන අතර එම සංශෝධන ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සඳහන් කළා ය.
"අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා මේ ප්‍රශ්න නොසලකා හැරියා කියලා කියන්න බැහැ. නීති ප්‍රතිසංස්කරණ එක රැයකින් සිදු කළ නොහැකියි. ඒ සඳහා නියමිත ක්‍රියාපටිපාටියක් තිබෙනවා. එම ක්‍රියාවලිය මේ වන විටත් ක්‍රියාත්මකයි."
බන්ධනාගාරවල තත්ත්වය වැඩිදියුණු කිරීම සඳහා වර්තමාන අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යවරයා ගෙන ඇති පියවරද අග්‍රාමාත්‍යතුමිය පැහැදිළි කළාය. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව සිරකරුවන්ට සහ බන්ධනාගාර කාර්ය මණ්ඩලයට සෞඛ්‍ය සේවා පුළුල් කිරීම, නේවාසික සහ විශේෂඥ වෛද්‍ය සේවා හඳුන්වාදීම, නව සෞඛ්‍ය කාර්ය මණ්ඩල බඳවා ගැනීම සහ ප්‍රතිකාර සඳහා ප්‍රවේශය වැඩිදියුණු කිරීම ඒ අතර වේ.
එමෙන්ම නැවත අපරාධවලට යොමුවීම අවම කිරීම සඳහා ප්‍රජාමූලික පුනරුත්ථාපන වැඩසටහන් සහ වෘත්තීය පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කරමින් නිදහස ලැබීමෙන් පසු රැකියා අවස්ථා සඳහා අවශ්‍ය කුසලතා සිරකරුවන්ට ලබාදීමේ වැඩපිළිවෙළද ක්‍රියාත්මක වන බව අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
අධිකරණ ක්ෂේත්‍රයේ පුළුල් ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම පිළිබඳ රජයේ කැපවීම යළි අවධාරණය කරමින් අග්‍රාමාත්‍යතුමිය මෙසේද සඳහන් කළාය.
"අපගේ ජනවරම හිමිවන්නේ නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කර ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ගෞරවය සහ ජනතා විශ්වාසය යළි ගොඩනැගීමටයි."
වර්තමාන රජයට කටයුතු කිරීමට සිදු ව ඇත්තේ වසර ගණනාවක් පුරා පැවති පද්ධතිමය දූෂණය, ආයතනික අකාර්යක්ෂමතාව සහ ව්‍යුහාත්මක දුර්වලතා හේතුවෙන් බිඳ වැටුණු අධිකරණ පද්ධතියක් සමඟ බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.
"මෙවැනි දූෂිත පද්ධතියක් නැවත ගොඩ නැගීම පහසු කාර්යයක් නොවේ. මෙම සිදුවීම ද අතීතයේ බන්ධනාගාර පද්ධතිය ක්‍රියාත්මක වූ ආකාරය යන පුළුල් පසුබිම තුළ තේරුම් ගත යුතුයි. අපි ගොඩ නැගිය යුත්තේ එවැනි දූෂිත පද්ධතියක්. එම වගකීම අධිකරණ අමාත්‍යවරයාට පැවරී තිබෙනවා. ඒ සඳහා ආයතනය තුළම විමර්ශන සිදු කළ යුතුයි. එය පහසු කාර්යයක් නොවෙයි. එහෙත් මෙම රජය එම අභියෝගය භාරගෙන තිබෙනවා."
විපක්ෂය මෙතෙක් මෙම විශ්වාසභංග යෝජනාවට සහාය දෙන කිසිදු කරුණක් හෝ සාක්ෂියක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇති බවත්, මෙය හුදෙක් වාචිකව සිදු කරන දේශපාලන අපහාසයක් පමණක් බවත් අග්‍රාමාත්‍යතුමිය වැඩිදුරටත් පැවසුවාය.
"මෙය අධිකරණ පද්ධතිය පිළිබඳ දෙයක් නොවේ. රජය සහ අමාත්‍යාංශය ක්‍රියාත්මක කරන ප්‍රතිසංස්කරණවලට එරෙහිව විපක්ෂය දියත් කරන තවත් දේශපාලන උත්සාහයක් සහ අවධානය දිනාගැනීමේ ප්‍රයත්නයක් පමණක් බවද අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.


