ශ්‍රී ලංකාව සහ කුවෙට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය

ශ්‍රී ලංකාව සහ කුවෙට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ, ආයෝජන සහ ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීමට අවධානය
  • SocialShare:

ශ්‍රී ලංකාව සහ කුවෙට් රාජ්‍යය අතර ද්විපාර්ශ්වික වෙළෙඳ සබඳතා තවදුරටත් වර්ධනය කර ගැනීම, ද්විපාර්ශ්වික වෙළෙඳ පරිමාව ඉහළ නැංවීම, සෘජු විදේශීය ආයෝජන (FDI) ආකර්ෂණය කර ගැනීම සහ සංචාරක ක්ෂේත්‍රයේ නව සහයෝගිතා ගොඩනැගීම පිළිබඳව විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්විණි.

ඒ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා සහ ශ්‍රී ලංකාව සඳහා කුවෙට් රාජ්‍යයේ තානාපති සලේ මුබාරක් අල්-සාරාවි (H.E. Saleh Mubarak Al-Sarawi) මහතා අතර විශේෂ නිල හමුවක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදුවූ අවස්ථාවේදීය.

දෙරට අතර පවතින වෙළෙඳ සබඳතා වර්තමාන හැකියාවන්ට වඩා ඉහළ මට්ටමකට ගෙන ඒම සඳහා කුවෙට් වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා ව්‍යාපාරිකයන් අතර සෘජු සබඳතා ගොඩනැගීමටත්, ව්‍යාපාරික නියෝජිත කණ්ඩායම් හුවමාරු කර ගැනීමටත් මෙහිදී එකඟතාව පළ විය.

කෘෂිකර්මාන්තය, කිරි නිෂ්පාදන හා පශු සම්පත් ව්‍යාපෘති, යටිතල පහසුකම් සහ ප්‍රවාහනය වැනි අංශ සඳහා ආයෝජකයන්ට ඇති ප්‍රවේශය පිළිබඳව මෙන්ම ආයෝජන දිරිගැන්වීම් සහ බදු සහන පිළිබඳව ද කුවෙට් තානාපතිවරයාව දැනුවත් කරන ලදී.

ශ්‍රී ලංකාවේ පලතුරු (අන්නාසි, අඹ) සඳහා කුවෙට් රාජ්‍යයේ පවතින ඉහළ ඉල්ලුම සැලකිල්ලට ගනිමින් අපනයන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.

කුවෙට් රාජ්‍යයේ සේවය කරන ශ්‍රී ලාංකික ගෘහස්ථ ශ්‍රමිකයන් සහ වෘත්තීයවේදීන් ලබාදෙන දායකත්වය තානාපතිවරයා විසින් අගය කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාව උපායමාර්ගිකව පිහිටා ඇති ඉතා සුන්දර හා ආකර්ෂණීය රටක් බවත්, දෙරට අතර පවතින ආර්ථික සබඳතා නව මානයකට ගෙන යාම සඳහා කුවෙට් රාජ්‍යයේ පූර්ණ සහයෝගය නිරන්තරයෙන් ලබාදෙන බවත්ය.