මෙරට ක්‍රියාත්මක රාජ්‍ය සේවාවන් නව්‍යකරනයට ලක් කරමින් ජනතාවට කාර්යක්ෂම, ගුණාත්මක හා පහසු සේවාවන් සමීප කිරීමේ වත්මන් රජයේ වැඩපිළිවෙළට තවත් වැදගත් පියවරක් එක් කරමින්, වසර 35කට පසු නැගෙනහිර පළාතේ, මඩකලපුව දිස්ත්‍රික්කයේ, කළුවාන්චිකුඩි ප්‍රදේශයට නවීන පහසුකම්වලින් සමන්විතව අභිනවයෙන් ඉදිකරන ලද පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාල ගොඩනැගිල්ල අද (25) පෙරවරුවේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මෙම ගොඩනැගිල්ල ඉදිකිරීම සදහා රැපියල් මිලියන 29.5ක මුදලක් වැයකරනු ලැබීය
නවීන පහසුකම්වලින් සමන්විත මෙම නව තැපැල් කාර්යාලය විවෘත කිරීමත් සමඟ, මෙතෙක් විවිධ ස්ථානවල කුලී පදනම මත පවත්වාගෙන ගිය කළුවාන්චිකුඩි තැපැල් කාර්යාලයට ස්ථිර ගොඩනැගිල්ලක් හිමිව තිබේ. ඒ අනුව, කළුවාන්චිකුඩි හා අවට ප්‍රදේශවල ජනතාවට වඩාත් කාර්යක්ෂම, ප්‍රමිතියෙන් යුතු, විශ්වාසනීය සහ පහසු තැපැල් හා මූල්‍ය සේවාවන් එකම ස්ථානයකින් ලබාදීමට හැකියාව ලැබෙනු ඇත.
මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ, පසුගිය වර්ෂයේ සැප්තැම්බර් 18 වැනි දින මෙම තැපැල් කාර්යාලය සඳහා මුල්ගල තැබූ අතර, වසරක් සම්පූර්ණ වීමටත් පෙර එහි ඉදිකිරීම් අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට හැකිවීම වත්මන් රජයේ කාර්යක්ෂම, සැලසුම්ගත හා ප්‍රතිඵලදායී රාජ්‍ය පරිපාලනය පිළිබිඹු කරන සුවිශේෂී ජයග්‍රහණයක් බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ, පසුගිය වර්ෂයේ නව තැපැල් කාර්යාල ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 600ක ප්‍රතිපාදන වෙන් කර ඇති අතර, එම වැඩසටහන යටතේ මේ වන විට නව තැපැල් කාර්යාල සහ උප තැපැල් කාර්යාල 14ක් ඉදිකර අවසන් කර ඇති බවයි. එමෙන්ම තැපැල් කාර්යාල නවීකරණය සඳහා තවත් රුපියල් මිලියන 600ක මුදලක් වෙන් කර ඇති අතර, ඒ යටතේ දිවයින පුරා තැපැල් කාර්යාල 206ක නවීකරණ කටයුතු මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බවද හෙතෙම සඳහන් කළේය.
මෙම සංවර්ධන වැඩසටහන් හරහා ශ්‍රී ලංකා තැපැල් සේවාව නවීන, කාර්යක්ෂම හා ජනතා කේන්ද්‍රීය රාජ්‍ය සේවාවක් බවට පරිවර්තනය කරමින්, ජනතාවට වඩාත් ගුණාත්මක, විශ්වාසනීය හා කාර්යක්ෂම සේවාවක් ලබාදීම වත්මන් රජයේ අපේක්ෂාව බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ජනතාවගෙන් එකතු කරනු ලබන බදු මුදල් නිසි සැලසුමක් සහ විධිමත් මූල්‍ය කළමනාකරණයක් යටතේ ප්‍රයෝජනයට ගනිමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමත්, ජනතාවට කාර්යක්ෂම රාජ්‍ය සේවාවන් ලබාදීමත් වත්මන් රජයේ ප්‍රමුඛ අරමුණ බවද හෙතෙම ප්‍රකාශ කළේය.
එළඹෙන අගෝස්තු මාසයේදී මඩකලපුව දිස්ත්‍රික්කයේ සංචාරයක නිරත වෙමින් මහජන නියෝජිතයන්, සෞඛ්‍ය අංශයේ නිලධාරීන්, ප්‍රාදේශීය පරිපාලන නිලධාරීන් සහ අනෙකුත් අදාළ පාර්ශ්ව සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ප්‍රාදේශීය රෝහල් සහ සෞඛ්‍ය ආයතන මුහුණ දෙන අඩුපාඩු පිළිබඳ සවිස්තරාත්මකව සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
ප්‍රාථමික සෞඛ්‍ය සේවාව ශක්තිමත් කිරීම සඳහා ඉදිරි වසර දෙක තුළ රුපියල් මිලියන 45,000ක ප්‍රතිපාදන වෙන් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා, එම මුදල් යටතේ ප්‍රාදේශීය මට්ටමේ රෝහල් හා සෞඛ්‍ය ආයතන සංවර්ධනය සඳහා අවශ්‍ය අවසන් සැලැස්ම කඩිනමින් සකස් කිරීමට අපේක්ෂා කරන බවද ප්‍රකාශ කළේය.
වත්මන් රජය ජනතා අවශ්‍යතා මූලික කරගත් ජනතාවාදී රජයක් බව සඳහන් කළ අමාත්‍යවරයා, රජයේ සියලු තීරණ හා සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනු ලබන්නේ ජනතාවගේ සුබසාධනය සහ ඔවුන්ගේ සැබෑ අවශ්‍යතා ඉටු කිරීම මූලික කරගෙන බවද අවධාරණය කළේය.සියලු දෙනා එක පවුලක් ලෙස එක්ව වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකා තැපැල් සේවාවට නව ශක්තියක් හා විශිෂ්ටත්වයක් එක් කළ හැකි බවද අමාත්‍යවරයා පැවසීය. රටේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා සියලු වෘත්තිකයන්ගේ මෙන්ම සෑම පුරවැසියෙකුගේම දායකත්වය අත්‍යවශ්‍ය බවද හෙතෙම සඳහන් කළේය. වත්මන් රජය තැපැල් සේවාවේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කරන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳ නිසි අවබෝධයකින් යුතුව සියලු තැපැල් සේවකයන් වඩාත් වගකීමෙන් හා කැපවීමෙන් කටයුතු කරනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කළුවාන්චිකුඩි තැපැල් කාර්යාලය මඟින් පවුල් 9,671කට සෘජුවම සේවා සැලසෙන අතර ඊට අමතරව, රජයේ ආයතන , හෝටල් සහ කර්මාන්තශාලා ඇතුළු ආයතන රැසක් වෙත දෛනික තැපැල් හා මූල්‍ය සේවාවන් සපයනු ලබයි.
එමෙන්ම උප තැපැල් කාර්යාල 07ක් මෙම කාර්යාලය යටතේ පරිපාලනය වන අතර, ප්‍රදේශයේ ජනතාවට අත්‍යවශ්‍ය රාජ්‍ය සේවාවන් වඩාත් කාර්යක්ෂමව හා පහසුවෙන් ලබාගැනීමට මෙය මහත් පිටිවහලක් වනු ඇත.
මඩකලපුව දිස්ත්‍රික්කය තුළ තැපැල් කාර්යාල 21ක් සහ උප තැපැල් කාර්යාල 66ක් ක්‍රියාත්මක වන අතර, කළුවංචිකුඩි තැපැල් කාර්යාලය එම දිස්ත්‍රික්කයේ පළමු ශ්‍රේණියේ තැපැල් කාර්යාලයක් ලෙස පුළුල් සේවා පරාසයක් ජනතාව වෙත ලබාදෙයි.
වත්මන් රජය බලයට පත්වීමෙන් පසු ජනතා අයිතියට පත් කරනු ලැබූ 06වන තැපැල් කාර්යාල ගොඩනැගිල්ල මෙය වේ.
මෙම අවස්ථාවට මඩකළපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කන්දසාමි ප්‍රභූ, කලුවංචිගුඩි ප්‍රාදේශීය සභාවේ සභාපති මෙගසුන්දරම් විනෝරාජ්, තැපැල්පති රුවන් සත්කුමාර ,නියෝජ්‍ය තැපැල්පති (සංවර්ධන) තුසිත හුලංගම, නියෝජ්‍ය තැපැල්පති (නැගෙනහිර පළාත) එස්. ප්‍රකාස්, මඩකළපුව ප්‍රාදේශීය තැපැල් අධිකාරී තිරුබාලනී අරුල්චෙල්වම්, කළුවාංචි කුඩි තැපැල් ස්ථානාධිපති එස්. කුගදාසන් යන මහත්ම මහත්මීන් මෙන්ම තැපැල් කාර්ය මණ්ඩලය ඇතුළු ප්‍රදේශවාසීන් පිරිසක් ද එක්ව සිටියහ.


