පවතින ඩෙංගු වසංගත අවදානම මර්දනය සඳහා නිකුත් කරන ලද චක්‍රලේඛය ක්‍රියාත්මක කිරීමේ ප්‍රගති සමාලෝචන සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (03) පස්වරුවේ පැවැත්විණි.
ඩෙංගු මර්දන වැඩසටහන සම්බන්ධයෙන් 2026 ජුනි මස 23 වනදා නිකුත් කරන ලද චක්‍රලේඛයට අදාළව සියලු රාජ්‍ය ආයතන ක්‍රියාත්මක කළ වැඩසටහන්වල ප්‍රගතිය සහ වත්මන් ඩෙංගු වසංගත තත්ත්වය පාලනය කිරීමට මෙතෙක් ගෙන ඇති පියවර මෙන්ම ඉදිරි වැඩපිළිවෙළ සහ සැලසුම් පිළිබඳ මෙහිදී විමසා බැලිණී.
අධිඅවදානම් කලාපවල ඩෙංගු රෝගය ව්‍යාප්ත වීම වැළැක්වීමට සියලු රාජ්‍ය ආයතන ඒකාබද්ධ වීම තුළින් ගත හැකි තිරසර විසඳුම් සම්බන්ධව මෙන්ම අධිඅවදානම් ප්‍රදේශවල ධූමායන ක්‍රියාවලිය තවදුරටත් ඉහළ නැංවීම කෙරෙහිද මෙහිදී සාකච්ඡා විය.
එමෙන්ම ඩෙංගු පාලනය කිරිමේ මෙහෙයුම් මැදිරියට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් ගෙන තිබෙන ක්‍රියාමාර්ග පිළිබඳවද මෙහිදී අවධානය යොමු කෙරිණි.
ඩෙංගු අධිඅවදානම් ප්‍රදේශ ඉන් මුදා ගැනීමට නම් සාම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැරව නව ක්‍රමවේද ඔස්සේ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව පෙන්වා දුන් ජනාධිපති ලේකම්වරයා, ඩෙංගු රෝගය පාලනය කිරීම රජයට පමණක් තනිව සිදුකළ නොහැකි බවත්, ඒ වෙනුවෙන් ජනතාවටද විශාල වගකීමක් පැවරී තිබෙන බවත් පෙන්වා දුන්නේය.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ දායකත්වය ඉහළ නංවමින් නිවෙස් ආශ්‍රිත පිරිසිදු කිරීම් කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත්, නිවැරදි දත්ත මත පදනම්ව අධිඅවදානම් කලාප ඉන් මුදා ගැනීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ වැදගත්කමත් මෙහිදී අවධාරණය කෙරිණි.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, ජනාධිපති අතිරේක ලේකම් (ක්ලින් ශ්‍රී ලංකා) ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වර, අතිරේක ලේකම් (පළාත් සභා සහ පළාත් පාලන) එම්.කොඩිප්පිලිආරච්චි, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර, අතිරේක අධ්‍යක්ෂ ජනරාල් (තොරතුරු තාක්ෂණ සහ මාධ්‍ය) පී.ජී.අයි. ගමගේ, අධ්‍යක්ෂ (සමාජයීය) කපිල සෙනරත්, අධ්‍යක්ෂ (ස්වේච්ඡා සේවා) එච්.පී.එස්. ශාන්ත යන මහත්ම මහත්මීහු, ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලයේ නිලධාරීහු, සෞඛ්‍ය අංශ ප්‍රධානීන්, රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


