පරිසරය පූජනීයයි. එය සිහි තබාගෙන පොසොන් වන්දනාවේ එමු

පරිසරය පූජනීයයි. එය සිහි තබාගෙන පොසොන් වන්දනාවේ එමු
  • SocialShare:

පරිසරය සැමට සුව සෙත ගෙන දෙන සුරක්ෂිත ස්ථානයකි.පරිසරය සුරක්ෂිත කිරීම තව තවත් පිං වැඩෙන කුසලයක් බව භක්තිවන්ත මිනිසුන් සිතියට ගත යුතුව තිබේ .පරිසරය සුරැකීමේ අගනා කාර්ය මෙලෙස මතකයට නගන්නේ, එළඹෙන පොසොන් වන්දනා සමයේ දී පරිසරය ද පූජනීය බව වටහාගෙන සියලු බැතිමතුන් වන්දනාවේ පැමිණිය යුතු බැවිණි.

සුදු වතින් සැරසී පැමිණ, සිත් සනසන හඳ පහන් රැයක, තුරු තුරු සෙවණ  හිඳ, කිරි සුදෙන් බැබළෙන රුවන්වැලි මහා සෑ රදුන් දෙස බලා සිටින විට ඇතිවන බුද්ධාලම්භන ප්‍රීතිය සිහියට ගන්න. එවැන්නක් පිළිබඳ චිත්ත රූප මවාගත්ත ද කෙනෙකුට ඇතිවන්නේ සිත් නිවන උත්තම අධ්‍යාත්ම වින්දනයකි. එය ඇත්ත සිහිපත් කිරීමට හොඳම වේළාව යි.පුදබිම පුරා  ඇසෙන ධර්ම දේශනා ,බොදු බැති ගී ,මගුල් බෙර නාද ,මද පවන, මල් සුවඳ, යනා දී සියල්ලෙහි එකතුව  චිත්ත ඒකාග්‍රතාවයේ උපරිමයට ඔබ රැගෙන යයි.

ඔබට ඔබ සමගින් සැබෑ ලෙස ජීවත් වීමට ඇරයුම් කරන සුරම්‍ය පරිසරය ගොඩනැගී ඇති අයුරු සිහිපත් කරගත හැකි කවරෙකු වුව ද සිතන්නේ එය සැමට අයිති, රැක ගත යුතු අගනා වස්තුවක් ලෙස ය.

මෙවර අප සමරන්නේ 2334 වන පොසොන් උත්සවය යි.අනුරාධපුර අටමස්ථානය,මිහින්තලාව,තන්තිරිමලය ආදී පුදබිම් කේන්ද්‍ර කර ගනිමින් පොසොන් උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් සැමරීම, හෙළ සංස්කෘතිය ගොඩනැගීමට බුදු දහමින් ලද දායාදයන්ට කෘතගුණ සැලකීමකි. සෑම වර්ෂයකටම පොසොන් වන්දනාවේ පැමිණෙන බැතිමතුන් පිරිස ලක්ෂ පහළොවක් පමණ වේ. මේ සියලු දෙනා පැමිණෙන්නේ පුණ්‍යවන්ත භූමියකට යි.ඒ පින් රැස් කර ගැනීම උදෙසා ය. එම  ගමනේ දී ලබන වන්දනීය වින්දනය සෑම අයකුටම සුවසේ ලැබීමට හැකිවන පරිද්දෙන් සෑම  වන්දනාකරුවකුම උතුම් ආධ්‍යාත්ම සිතකින් කටයුතු කිරීම වන්දනාවේ අග ඵල ලැබීමට හේතුවේ.

පූජා භූමියේ පිරිසිදු බව, වැව් ජලයේ පවිත්‍රතාවය, ස්වභාව පරිසරයේ තුරුලතා ආදියේ ආරක්‍ෂාව ආදිය පිළිබඳව මේ පැමිණෙන සුවහසක් බැතිමතුන් සෑම මොහොතකම සිතිය යුතු යි. එසේ නොවන්නට පිං රැස් කර ගන්නට පැමිණි ඔබට සිදු වන්නේ පව් රැස්කරගන්නට  බව සෑම වන්දනාකරුවෙකුම සිහියට ගත යුතු වේ. මෙය අති භක්තිවන්ත සැමරුමකි. එහෙයින් මෙම පූජනීය පරිසරය අපවිත්‍ර කිරීම උදෙසා දැන හෝ නොදැන ඔබ සිදුකරන පුංචි ක්‍රියාවකින් වුව ද වන්දනා ගමනේ අරමුණ සිඳී  යා හැකි යි.

අනුබුදු මිහිඳු හිමියන් මෙරටට වැඩම කළ පළමු දිනයේ දී ම දේවානම්පියතිස්ස රජුන් අරඹයා දෙසූ දෑ සිහියට ගන්න. එම ප්‍රකාශයන් තුළ ගැබ්ව තිබුණේ පරිසරය යනු අමිල දායාදයක් බව යි.  "මහරජ, පක්ෂි සිවුපාවුන් හට ද මේ මිහිතලය තුළින් මිනිසාට මෙන්ම ජීවත්වීමේ අයිතියක් ඇත. ඔබ මේ රටේ පාලකයා මිස පරිසරයේ අයිතිකරු නොවේ.ඔබ මෙහි භාරකරුවා පමණකි,,  යනුවෙන් දේවානම්පියතිස්ස රජු අ‍රඹයා එදා අම්බස්තලයේ දී මිහිඳු හිමියන් කළ ප්‍රකාශය ලොව පළමු පරිසර ප්‍රකාශය ලෙස ද සඳහන් කළ හැකි ය.ලොව පළමු අභය භූමිය වශයෙන් සලකන්නේ ද මිහින්තලා අභය භූමිය යි.අපි පොසොන් උත්සවය වශයෙන් සමරන්නේ මිහිඳු හිමියන් බුදු දහම රැගෙන මෙරටට වැඩම කළ එම දිනයයි. ඒ ආරම්භක දිනයේ දී ම  ප්‍රකාශ වී ඇත්තේ ද පරිසරය පිළිබඳව ය. එසේ නම් බුදු දහමේත් පරිසරයේත් අගය එකසේ වටහා ගනිමින් පොසොන් වන්දනාව සිදුකිරීම අගනා මිනිසුන්ගේ පුණ්‍යවන්තකම පෙන්වන්නකි. පරිසරයේ අන්‍යෝන්‍ය බැඳීම,  එනම් ගස්, ගල් , සතුන් මිනිසා, දේශගුණය ආදිය එකට බැඳී ඇති බැව් හඳුනාගෙන කටයුතු කිරීමේ පාඩම ද බෞද්ධ සංස්කෘතිය තුළ පවතී. එය වටහා ගැනීම මිනිසුන්ගේ සංස්කෘතික බව ,භක්තිවන්ත බව, අධ්‍යාත්මක ගුණවගාව පෙන්වයි. සැබවින්ම ගහකොළ සතා සිවුපාවා ඇතු‍ළු පරිසරයට ආදරය කරන මිනිසුන් මනුසත් කමින් අතිශය පොහොසත්ය. ඔවුහු පිං වතුන් වෙති.

බුදු දහමේ සඳහන් පරිසරයේ අගයත් එහි සුන්දරත්වයත් පිළිබඳ දේශනා අසා සිටින කිසිවකුත් පරිසරයට බිඳක හෝ හානියක් සිදු කරන්නට නොපෙළඹේ. බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ පරිසරය යනු පරිත්‍යාගශීලී බවින් යුත් අපූරු ජීවියකු බවයි. එය පරිසරයේ අගය අගනා කොට දේශනා කිරීමකි. එමෙන්ම පරිසරය විඳිය හැකි සුන්දර ස්ථානයක් බව බුදුන් වහන්සේ විසින් පසක් කළ අවස්ථා ඕනෑ තරම් බෞද්ධ සාහිත්‍යය තුළ හමුවේ. වස් වාසය සඳහා උන්වහන්සේ තෝරා ගත්තේ ඉතා සුන්දර පරිසර පද්ධතියකි. එමෙන්ම ඉපදීම, බුදුවීම, පිරිනිවන යන  අවස්ථා තුනම සිදුවුනු ස්ථාන පරිසරයේ සුන්දරත්වයෙන් පිරුණු තැන් බව සිහියට ගත යුතුයි.

කුලාවක ජාතකයේ එන මඝ මානවක කතාව, උපනියා සූත්‍රය , ධම්මපදය,අධම්මික සූත්‍රය,අරියපරියේසන සූත්‍රය ආදී බෞද්ධ මූලාශ්‍ර රැසක බුදුන් වහන්සේ පරිසරය අළලා කළ දේශනාවන් පවතී. ඒ හැමකෙකම පරිසරයේ සුන්දරත්වයත්, එය සුරැකීමේ කුසලානීසංසයත් ගැබ්ව තිබේ. උන්වහන්සේ ද පරිසරයෙන් මහා නිරාමිස ආස්වාදයක් ලද බව  අරියපරියේසන සූත්‍රයේ දැක්වෙන්නේ මෙපරිද්දෙනි.“මහණෙනි මම කුසල් යනු කුමක්දැයි සෙව්වෙමි. අනුත්තර වූ නිවන් සුවය සොයමින් සැරිසරන්නෙමි. උරුවේලාවේ සේනානි ග්‍රාමය කරා පැමිණියෙමි . එහි සිත්කළු භූමි භාගය ද මන්මත් කරවන වනය ද , සුදු වැලි තලා සහිතව මනාකොට ගලා යන්නා නදිය ද  හාත්පස  සුන්දර ගම්මානය ද දුටුවෙමි”.

බුදුන් වහන්සේම සිදුකළ මෙබඳු වර්ණනා තුළින් ගම්‍ය වන්නේ සොඳුරු පරිසරය කාට  වුව ද විඳිය හැකි බවයි. එයින් ප්‍රීතියක් අත් වේ. එම නිසා  අද මෙන්ම මතු පරපුරටත් විඳිය හැකි පරිසරයක් ඉතිරි කිරීම , එය රැකීම අගනා පිංකමක් වන්නේ ය.

ආමිස හා ප්‍රතිපත්ති පූජා රැසකින් සමන්විතව  සතියක් පුරා පැවැත්වෙන පොසොන් උත්සවය මෙවරත් ජූනි මස 26 වන දින සිට ජූලි  2 වන දා දක්වා පවත්වන්නට සියලු කටයුතු සූදානම් වෙමින් පවතී. බැතිමතුන් උදෙසා සියලු පොදු පහසුකම්,  යටිතල පහසුකම් සපුරාලීමට අවශ්‍ය සැලසුම් ද  සකස් කර තිබේ. එලෙස මහා වෙහෙසක් දරන අතරතුර පරිසරය අපවිත්‍ර කිරීම වළක්වාලීමට ජනතාව දැනුවත් කිරීමට ද විවිධ පියවර ගනිමින් සිටී . පාසල් පරිසර නියමු කණ්ඩායම් යෙදවීම ,ස්වේච්ඡා සංගම්වල දැනුවත් කිරීම්,  විශ්වවිද්‍යාල ඇතුළු විවිධ ආයතන වලින්  කරන දැනුවත් කිරීම් ආදිය ද සැලසුම් කර තිබේ. මෙබඳු පියවරයන්ට එළඹෙන්නේ පොසොන් වන්දනාවෙන් පසුව ද මේ සුන්දර පූජනීය පරිසරය එලෙසම පවත්වා ගැනීම උදෙසා යි. නමුත් පසුගිය සෑම පොසොන් උත්සවයක් අවසානයේම අප කාටත් දකින්නට ලැබුනේ අතිශය අපිරිසිදු වූ පූජාභූමියකි. ප්ලාස්ටික් වතුර බෝතල්, කඩදාසි, තැන තැන මළ මූත්‍රා කිරීම්, ජලයට කුණු කසල දැමීම් හැම අත දැකිය හැකි විය. මේවා සිදු කරන්නේ සත්තකින්ම වන්දනාවේ එන පිරිස් යැයි කිසිසේත් කියන්නට නොහැකියි. යතුරු පැදි ආදියෙන් පැමිණෙන පිරිස් නගන ශබ්ද ඝෝෂා  මේ පුණ්‍යවන්ත සැමරුමට කිසිසේත්ම නොගැළපේ. සෑම  වසරකම පොසොන් උත්සවය අවසානයේ ටොන් 500 ක පමණ කුණු කසල ඉවත් කිරීමට සිදුවීම අතිශය කණගාටු දායක තත්ත්වයකි.

වර්තමානයේ තරම් අධ්‍යාපන මට්ටමක් නොතිබුණු සමයක මින් වසර සියයකට පමණ ඉහත කාලයේ අඩු  පහසුකම් සහිතව අනුරාධපුරයට, මිහින්තලයට වන්දනාවේ පැමිණි බැතිමතුන් ක්‍රියාකර ඇති  අන්දම ගැන එවක ට සුදු ජාතික පාලකයින්  පවා පුදුමයට පත්ව තිබේ. වන්දනාවේ පැමිණි බැතිමතුන් රැඳී  සිටි ස්ථානවලට ගිය  නිලධාරීන්ට දැක ගැනීමට එකදු කුණු කැබැල්ලක් හෝ තිබී නැත. ඊට හේතුව තමන් භාවිත කළ සියලු දේ වන්දනාකරුවන් විසින්ම ආපසු රැගෙන යාම යි. එවක ජනතාවට මෙවැන්නක් කළ හැකි වූවා නම් වර්තමානයේ වන්දනා වන්දනාකරුවන්ට එය කළ නොහැකි දෙයක් නොවේ. එසේ  නොකරන්නට හේතුව අධ්‍යාත්ම පෝෂණයක් නොමැතිකම බව එවන් දෑ සිදුකරන කවුරුන් වුවද පිළිගත යුතුව ඇත. කෙනෙකුගේ මනස අපිරිසිදු නම් ඒ පුද්ගලයා ජීවත්වන පරිසරය ද අපිරිසිදු වේ. තමන්ගේ පවිත්‍රතාවය,  තම නිවසේ පවිත්‍රතාවය ගැන සිතන තරමටත් වඩා,  සියල්ලටම වැදගත්ම ස්ථානවල පවිත්‍රතාවය ගැන සිතීම අත්‍යවශ්‍ය බව සිතන්නට උසස් අධ්‍යාපනයක් අවශ්‍ය වන්නේ නැත . එය තමන් පුරුදු පුහුණු කළ මානව ගුණාංගයක් විය යුතුය.

පරිසරය පිළිබඳව උත්තමව  සිතනවා නම් මෙවර වන්දනාවේ පැමිණෙන ඔබට ප්ලාස්ටික් වතුර බෝතල් වෙනුවට නැවත භාවිතා කළ හැකි ජල බඳුනක් ගෙන ආ හැකිය. ඔබට බීමට ඇති ජලය ඕනෑ තරම් පූජා භූමිය තුළ ම සපයා තිබේ. ඔබ වෙනුවෙන්ම වැසිකිලි කැසිකිලි පහසුකම් සපයා ඇති නිසා එම ස්ථානවලටම යෑමට කාරුණික විය යුතු යි. එමෙන්ම ඔබට ඉවත දැමීමට ඇති කුණු කසල ඒ වෙනුවෙන් වෙන් කර ඇති කසල බඳුන්වලටම යෙදීමට ක්‍රියා කිරීම පූජා නගරය අපවිත්‍ර නොවීමට හේතුවේ. වැව් ජලයේ සිසිලස විඳින්න.  නමුත් කිසිදු විටෙක වැව් ජලයට කුණු කසළ දමන්නට  එපා. වන්දනාකරුවන් වැව් ජලයට මළ මූත්‍ර පවා හෙලීමට ක්‍රියා කරන තත්ත්වයකට වන්දනීය බව පහත වැටී තිබේ.

මෙවන් අනුවණ ක්‍රියා සිදු නොකරන,  පරිසරය පූජනීය බව සිහි තබාගත් බැතිමතුන්ගෙන් යුතුව පොසොන් සමය භක්තියෙන් සමරන්නට අපි කවුරුත් අපගේ සිතට ප්‍රතිඥා දෙමු. එය බුද්ධ ශාසනයේ ගෞරවයෙත් පරිසරයේ සුන්දරත්වයත් ආරක්ෂා කිරීමට සහාය වීමක් වන්නේම ය.

- ෂෙල්ටන් ඉන්දික බණ්ඩාර -

මාධ්‍ය කාර්යභාර නිලධාරී

අනුරාධපුරය