පුද්ගලයෙකු සෞඛ්‍ය සම්පන්න වනවා යනු ශාරීරික වශයෙන් සුවපත් වීම පමණක් නොව මානසික සුවතාවයද මෙහිදී ඉතාම වැදගත් වෙනවා. ශාරීරිව නිරෝගී වුවද පුද්ගලයෙකු මනසින් සුවපත් නැතිනම් එම පුද්ගලයාට සාමාන්‍ය ජීවිතයක් ගෙවීම අපහසු වෙනවා. මානසික සුවතාවය කෙරෙහි අපි බොහෝ දෙනා එතරම් අවධානය යොමු නොකරන්නේ නැහැ. ඇතැම්විට අපි මානසික බිඳවැටීමකට ලක්ව ඇති බව හෝ මානසික ව්‍යාකූලතාවයකට මුහුණදීමේ ආසන්න තත්ත්වයක පසුවන බවද නොදන්නවා විය හැකියි.
ලෝක මානසික සෞඛ්‍ය දිනය (World Mental Health Day) මෙන්ම ශ්‍රී ලංකාවේ ද ජාතික මට්ටමින් මානසික සෞඛ්‍ය දිනය සෑම වසරකම ඔක්තෝබර් 10 වැනිදා සමරනු ලබයි. පොදුවේ ගත් කල, ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් 10% ක් පමණ එනම් සෑම පුද්ගලයන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුම තම ජීවිත කාලය තුළ යම් ආකාරයක මානසික සෞඛ්‍ය ගැටලුවකට හෝ රෝගී තත්ත්වයකට මුහුණ දෙන බව වෛද්‍ය පර්යේෂණ පෙන්වා දෙයි.
නිරෝගී මනසක් යනු හුදෙක් "මානසික ලෙඩ රෝගවලින් තොරවීම" පමණක්ම නොවෙයි. එය පුද්ගලයෙකුගේ සමස්ත ජීවිතයේම ගුණාත්මකභාවය, සාර්ථකත්වය සහ සතුට තීරණය කරන ප්‍රධානතම සාධකයයි. රටක උපරිම වර්ධනය තීරණය වන්නේ එහි ශ්‍රම බලකායේ මානසික සුවතාවය මතයි.
රටක ශ්‍රම බලකායේ මානසික සෞඛ්‍ය බිඳවැටීම එරට සංවර්ධනයට සෘජුවම බලපායි. රටෙහි වැඩ කළ හැකි වයස්වල සිටින ජනතාව එතරම් මේ පිළිබඳව උනන්දුවක් යොමු නොකළද වර්තමානය වන විට යම් යම් ආයතනික මට්ටමෙන්ද ශ්‍රමිකයින්ගේ මානසික සෞඛ්‍ය සම්බන්ධව අවධානයට යොමු කළ යුතුව ඇත.
මිනිසුන්ගේ මානසික සෞඛ්‍ය බිඳවැටීම කෙරෙහි විවිධ හේතු කාරණා බලපෑ හැක. අභියෝග වලට මුහුණදීමේ නොහැකියාව, ජීවිතය සම්බන්ධයෙන් අරමුණක් නොමැති වීම, සතුට, තෘප්තිමත් භාවයක් නොමැති බව, දිරිගැන්වීම් නොමැති වීම සහ විවිධ ඇබ්බැහි වීම් ආදිය මානසික දුර්වලතාවයන්ට ද හේතු විය හැක.
එමෙන්ම පාරිසරික සාධක එනම් රාජකාරී ස්ථානයේ සහ සමාජය ආශ්‍රිත හේතු ද මෙවැනි මැනසික ගැටලු සම්බන්ධයෙන් බලපෑ හැක. පුද්ගලයන්ට රාජකාරී පරිසරයන් තුළ මානසික ගැටලු සඳහා බලපෑ හැකි හේතු වශයෙන් ආතතිය, වැඩ අධික වීම, නිසි දිරිගැන්වීම් සහ අගය කිරීම් නොමැති බව ආදිය පෙන්වා දෙයි.
ශ්‍රී ලංකාවේ බහුල වශයෙන් පවතින පොදු මානසික ආබාධ තත්ත්වයන් වශයෙන් විෂාදය (Depression) සහ කාංසාව (Anxiety) හඳුනාගෙන ඇත. ශ්‍රී ලංකාවේ බහුලවම වාර්තා වන මානසික සෞඛ්‍ය ගැටලුව මෙයයි. සමස්ත ජනගහනයෙන් 8% - 10% අතර පිරිසක් සායනික මට්ටමේ විෂාදය හෝ දැඩි කාංසාව වැනි තත්ත්වයන්ගෙන් පෙළෙති. පිරිමින්ට වඩා කාන්තාවන් අතර විෂාදයට ගොදුරු වීමේ ප්‍රවණතාව සාපේක්ෂව ඉහළ අගයක් ගනී.
ළමා හා නව යොවුන් වියේ මානසික සෞඛ්‍යය බිඳ වැටීම් තත්ත්වයන්ද අද වන විට බහුලව වාර්තා වෙයි. නතිකම සහ පීඩනය මෙන්ම දීර්ඝකාලීනව පවතින විශාදයද මේ සඳහා හේතුවිය හැකියි. මෙරට වැඩ කරන වයස් වල ජනතාව බොහෝ විට මානසික සෞඛ්‍ය ගැටලු හේතුවෙන් සියදිවි නසාගැනීම්වලටද පෙළඹෙයි. මෙය ඉතාම අහිතකර තත්ත්වයකි. තවත් පිරිසක් මෙම මානසික සෞඛ්‍ය බිඳවැටීමෙන් දැඩි මානසික රෝගී තත්ත්වයන්ට පත්වෙති.
රටක පුද්ගලයන් මෙවැනි තත්ත්වයන්ට පත්වීම රටෙහි ආර්ථික සහ සමාජීය සංවර්ධනයටද ඉතා ගැටලු සහගත තත්ත්වයකි. ආයතනික මට්ටමෙන් ගත්කළ පුද්ගලයන්ගේ මානසික සෞඛ්‍ය පිරිහීම පුද්ගල ඵලදායීතාව අඩුවීමට , නිර්මාණශීලීභාවය අඩුවීම මෙන්ම පුද්ගල සහභාගීත්වය අඩුවීම ආදී තත්ත්වයන් දක්නට ලැබෙයි. මෙම තත්ත්වයන් පොදුවේ රටක සමස්ථ සංවර්ධනයටද බලපායි.
ඕනෑම රටක සංවර්ධනයේ නියමුවා වන්නේ එරටේ මිනිස් ශ්‍රමයයි. මානසික සුවතාවයෙන් යුත් ශ්‍රම බලකායක් සිටින විට කාර්යක්ෂමතාව ඉහළ යයි. සුවපත් මනසක් ඇති සේවකයන් වඩාත් නිර්මාණශීලීව, උද්‍යෝගිමත්ව සහ අවධානයෙන් යුතුව සේවය කරයි. මෙය ආයතනවල මෙන්ම සමස්ත රටේම නිෂ්පාදන ධාරිතාව ඉහළ නැංවීමට හේතු වේ. රැකියා අතහැර යාම සහ නිවාඩු ගැනීම් අවම වේ.
මානසික රෝග සහ ආතතිය හේතුවෙන් හෘදයාබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි බෝ නොවන රෝග ශීඝ්‍රයෙන් ඉහළ යයි. පුරවැසියන්ගේ මානසික සුවය ඉහළ මට්ටමක පවතින විට, රජයකට සෞඛ්‍ය අංශය සඳහා (ඖෂධ, රෝහල් නඩත්තුව) වැය කිරීමට සිදුවන අධික පිරිවැය විශාල වශයෙන් ඉතිරි කරගත හැකිය.
ලංකාවේ පවතින සමාජයීය තත්ත්වය හමුවේ ලැජ්ජාව, බිය හේතුවෙන් මානසික රෝග සඳහා රෝහල් හෝ සායන වෙත නිල වශයෙන් පැමිණෙන්නේ ප්‍රතිකාර අවශ්‍ය පුද්ගලයන්ගෙන් 30%-40% පමණ ඉතාම අඩු පිරිසකික් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. නමුත් ප්‍රතිකාර අවැසි පිරිස මීට වඩා ඉහළ විය හැකිය.
නොකී කතාවක් හෝ නොදුටු කඳුලක් අරුම පුද්ගලයින් මෙරටද ඕනෑතරම් සිටිය හැක. ඔවුන්ගේ කතාවකට සවන් දීමට කෙනෙකු නොමැති වීම නිසා ඔවුන් විශාල මානසික බිඳවැටීම් වලට ලක්වී ඇතැම්විට ජීවිත හානි කරගැනීම් දක්වා යාමටද ඉඩකඩ ඇත.
මෙරට ඕනෑම පුද්ගලයෙකුට මානසික උපකාරයක් හෝ උපදේශනයක් අවශ්‍ය නම්, ශ්‍රී ලංකා රජයේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ (NIMH) 1926 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් මානසික සුවතා සේවාවක් ලබාගත හැක. මෙය සම්පූර්ණයෙන්ම නොමිලේ සහ රහස්‍යභාවය සුරැකෙන සේවාවකි. මේ හරහා දවසේ පැය 24 පුරාම සහය ලබාගත හැක. 1926 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීමෙන් හෝ එම අංකයට වට්ස්ඇප් පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබගේ මානසික ගැටලු සඳහා යහපත් පිළියම් ලබාගත හැක.
සුවැති මනසක් ලබාගැනීමට මානසික සෞඛ්‍ය සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමු.
සටහන - පූර්ණා පුණ්‍යමලී නානායක්කාර.


