“බෞද්ධ සංචාරක කර්මාන්තය” (Buddhist Tourism) ක්‍රමානුකූලව සංවර්ධනය කිරීම මඟින් ශ්‍රී ලංකාවට විදේශ විනිමය ඉපැයීම සඳහා නව අවස්ථා රැසක් උදාකර ගත හැකි බව ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, උපරතන පාරමිතා පදනමේ සභාපති කටුගස්තොට උපරතන නායක හිමි සඳහන් කළහ.
උන්වහන්සේ මේ අදහස් පළ කළේ පොළොන්නරුවේ ඕනෑගම වෙහෙරගොඩයාය පුදබිම ආශ්‍රිතව ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සඳහා මුල්ගල තැබීමේ උත්සවයට පසුගියදා (21) සහභාගී වෙමිනි.
බොහෝ බෞද්ධ රටවල් මේ වන විට බෞද්ධ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කරමින් සිටින බැවින්, ශ්‍රී ලංකාවද ඒ සම්බන්ධයෙන් පුළුල් අධ්‍යයනයක් සිදුකර නව සංකල්ප සහ වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු බව උන්වහන්සේ අවධාරණය කළහ.
උපරතන පාරමිතා පදනමේ මූල්‍ය අනුග්‍රහයෙන් ඉදිකිරීමට යෝජිත මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය අනාගතයේදී පුරාවිද්‍යා අධ්‍යයන මධ්‍යස්ථානයක් සහ බෞද්ධ දර්ශන අධ්‍යයන මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බවද කටුගස්තොට උපරතන නාහිමියෝ සඳහන් කළහ.
වෙහෙරගොඩයාය පුදබිම ආශ්‍රිතව ඉදිකෙරෙන මෙම මධ්‍යස්ථානය “අතිපූජ්‍ය කටුගස්තොට උපරතන නාහිමි ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය” ලෙස නම් කිරීමට නියමිතය.
පුරාවිද්‍යාත්මක තොරතුරුවලට අනුව වෙහෙරගොඩයාය පුදබිම අනුරාධපුර යුගයේ මුල් කාලයට අයත් ආරාම සංකීර්ණයක් වන අතර, එහි ඉපැරණි චෛත්‍ය අවශේෂ, රන්කාසි, පබළු, මැටි බඳුන්, සඳකඩපහන් හා ගල්කණු ඇතුළු පුරාවස්තු රැසක් හමුවී තිබේ. මෙම සාධක අනුව එය පොළොන්නරු යුගයේදී ද කිහිප වරක් ප්‍රතිසංස්කරණය වී ඇති බවට විශ්වාස කෙරේ.
මෙම අවස්ථාවට ඕනෑගම මැදමළුව විහාරස්ථානයේ විහාරාධිපති සහ උතුරු මැද පළාත් ප්‍රධාන සංඝනායක කවුඩාගම්මන විමලරතන හිමි, වෙහෙරගොඩයාය පුදබිම සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති නිකපිටියේ චන්දිම හිමි ඇතුළු මහා සංඝරත්නය, උපරතන පාරමිතා පදනමේ විධායක අධ්‍යක්ෂ ජීවිකා කටුමැටියාව මහත්මිය සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.
එහිදී උපරතන පාරමිතා පදනම විසින් බෞද්ධ මධ්‍යස්ථානයේ ඉදිකිරීම් සඳහා රුපියල් ලක්ෂ 5ක මූල්‍ය පරිත්‍යාගයක් ද සිදුකරන ලදී.
සිසිර විජේසිංහ


