සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් උදෙසා ඩෙංගු මදුරු මර්දන මෙහෙයුමට නාවික හමුදාව දායකවේ

සෞඛ්‍යාරක්ෂිත පරිසරයක් උදෙසා ඩෙංගු මදුරු මර්දන මෙහෙයුමට නාවික හමුදාව දායකවේ
  • SocialShare:

‘ඩෙංගු රෝගයෙන් තොර කොළඹක් කරා’ තේමාවට අනුව, මහජන සෞඛ්‍යාරක්‍ෂාව තහවුරු කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ජාතික ඩෙංගු මර්දන මෙහෙයුම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය අඛණ්ඩව ලබාදෙයි. ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ජාතික ඩෙංගු මර්දන ඒකකය සහ ශ්‍රී ලංකා පොලීසියේ පරිසර ආරක්‍ෂණ අංශය එක්ව සංවිධානය කරන මෙම ජාතික වැඩසටහන මගින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම මෙන්ම ජනතාව අතර සෞඛ්‍යාරක්‍ෂාව පිළිබඳ දැනුවත්භාවය වර්ධනය කිරීම අරමුණු කරගෙන ඇත.

2026 ජූලි මස 17වන දිනට මෙම ඩෙංගු මර්දන වැඩසටහනේ දහහතරවන (14) දිනය සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරින්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක නිලධාරීන්, සහ ජාත්‍යන්තර රතුකුරුස සංවිධාන සාමාජිකයින් සමඟ එක්ව බටහිර නාවික විධානයට අනුයුක්ත නාවික හමුදා පුද්ගලයින් එකසිය අටදෙනෙකු (108) මෙම ජාතික ඩෙංගු මර්දන වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා දායකත්වය දක්වන ලදි. ඒ අනුව,  මෝදර, ගම්පහ, රාගම, බොරැල්ල, මහර, පානදුර, නාරාහේන්පිට, කැළණි සහ වත්තල යන ප්‍රදේශයන්හි ස්ථාන තුන්දහස් හැටතුනක් (3,063) පරීක්‍ෂාවට ලක් කෙරුණු අතර, එහිදී ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන හැටක් (60) හදුනා ගන්නා ලදි.

මෙම ජාතික ඩෙංගු මර්දන මෙහෙයුමට සමගාමීව, නාවික හමුදාවේ සියලුම නාවික විධානයන් තුළ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගැනීම සඳහා විධිමත් පිරිසිදු කිරීමේ වැඩසටහන් සිදුකරනු ලබන අතර, එහිදී අනාවරණය වන ඩෙංගු මදුරවන් බෝවිය හැකි අවදානම් ස්ථාන පිරිසිදු කිරීම හා විනාශ කිරීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.