"පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" ප්‍රතිපත්ති ප්‍රකාශයේ "නිර්බාධිත සමාජ ජීවිතයක් – යුක්තිසහගත සමප්‍රවේශයක්" පරිච්ඡේදයේ සඳහන් පරිදි, සැමට සමාන අවස්ථා හිමි වන අන්තර්කරණය වූ සමාජයක් බිහිකිරීමේ රජයේ ප්‍රතිපත්තිය යථාර්ථයක් කරමින්, දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි ආබාධ සහිත දරුවන් වෙනුවෙන් "කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන" 25ක් ඉදිකිරීමට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක සමාජ සේවා දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත.
එහි පළමු අදියර ලෙස 2026 අයවැය ප්‍රතිපාදන යටතේ රුපියල් මිලියන 250ක වියදමින් ත්‍රිකුණාමලය, අම්පාර, මුලතිව්, කුරුණෑගල, අනුරාධපුර, ගාල්ල, මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්කවල මධ්‍යස්ථාන 10ක් ඉදිකිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව එහි පළමුවැන්න ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ, කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නඩුඋත්තු ග්‍රාම නිලධාරි වසමේදී ඊයේ (17) පෙරවරුවේ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීමේ අමාත්‍ය උපාලි පන්නිලගේ මහතාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරූන් හේමචන්ද්‍ර මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරිණි.
මෙම මධ්‍යස්ථානය ආබාධ සහිත දරුවන්ගේ වර්ගීකරණයට අනුව ඔවුන්ගේ කායික හා මානසික සංවර්ධනය, දෛනික මෙන්ම පූර්ව වෘත්තීය කුසලතා සංවර්ධනය සහ චාලක හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ඉදිකර ඇත. එය නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත පන්ති කාමර සහ මානසික ආබාධ සහිත දරුවන් වෙනුවෙන් සංවේදී කාමර, එළිමහන් හා අභ්‍යන්තර ළමා උද්‍යාන, ළමා උපදේශන සේවා අංශයක්, ආබාධ සහිත දරුවන් සඳහාම වෙන් කළ භෝජනාගාරයක්, වැසිකිළි පහසුකම් සහ දෙමාපියන්ට රැඳී සිටීම සඳහා වෙන් කළ ස්ථානයක් ඇතුළුව සියලු පහසුකම්වලින් සමන්විත වේ.
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ආබාධ සහිත දරුවන් 280ක් පමණ සිටින අතර, ඉන් 100 දෙනෙකු පමණ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ජීවත් වෙති. මෙම කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය මඟින් දරුවන් 100 දෙනෙකුට පමණ සේවා සැපයීමට හැකියාව ඇත. ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් මඟින් උදෑසන දරුවන් මධ්‍යස්ථානයට රැගෙන ඒමත්, පසුව නැවත නිවෙස් වෙත රැගෙන යාමත් සඳහා සැලසුම් කර ඇත. මෙමඟින් ආබාධ සහිත දරුවන්ගේ දෙමාපියන්ට හා භාරකරුවන්ට මහත් අස්වැසිල්ලක් සැලසෙනු ඇත. එමෙන්ම, මෙම මධ්‍යස්ථානය සඳහා දෛනික පදනම මත සේවය කිරීමට පෙරපාසල් ගුරුවරුන්, සාත්තු සේවිකාවන් සහ කාර්යාල කාර්ය සහයකයන් වෙත පත්වීම් ලිපි ප්‍රදානය කිරීමද මෙහිදී සිදු කෙරිණි.
එහිදී අදහස් දක්වමින් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යවරයා, "පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්" යන ප්‍රතිපත්තියට අනූව ජාති, ආගම්, භාෂා හෝ ආබාධිතභාවය නොසලකා සියලු පුරවැසියන්ගේ ජීවිත සුබදායී කිරීම රජයේ ප්‍රධාන අරමුණ බව සඳහන් කළේය. එමෙන්ම සමාජ සේවය යනු ඉතා සංවේදී විෂයයක් බවත්, එහිදී "සහකම්පනය" (Empathy) පෙරදැරි කරගෙන, අනෙකාගේ තත්ත්වය තමන්ට දැනෙන ආකාරයෙන්ම අවබෝධ කරගෙන කටයුතු කිරීමේ වැදගත්කමද අමාත්‍යවරයා අවධාරණය කළේය.
තවද, මෙම වැඩසටහන වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන බවත්, මෙම වසර තුළ මෙවැනි මධ්‍යස්ථාන 10ක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, ලබන වසරේ තවත් මධ්‍යස්ථාන 15ක් ආරම්භ කරමින් මෙරට පරිපාලන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි අවම වශයෙන් එක් මධ්‍යස්ථානයක් බැගින් ස්ථාපනය කිරීම රජයේ ඉලක්කය බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙහිදී කුසලතා සංවර්ධන හා දිවා සුරැකුම් මධ්‍යස්ථාන ඉදිකිරීම හා පවත්වාගෙන යාම පිළිබඳ මාර්ගෝපදේශන ඇතුලත් කෙටුම්පත එහිදී අමාත්‍යාංශ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා විසින් පිළිගැන්වීමද සිදුකරන ලදි.
මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, අතිරේක ලේකම් නාලිකා පියසේන මහත්මිය, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ලේකම්තුමන්, සමාජ සේවා අධ්‍යක්ෂ දර්ශනී කරුණාරත්න මහත්මිය, වැඩිහිටි පුද්ගලයන් සඳහා වන ජාතික වැඩිහිටි මහලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ චතුර මිහිඳුම් මහතා, රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ මහජන නියෝජිතයන්, ප්‍රදේශවාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.


