සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයින් 582 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයින් 582 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ
  • SocialShare:

මෙරට ක්‍රියාත්මක නිදහස්  සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් පද්ධතිය තවදුරටත් ශක්තිමත් කිරීමත්, සේවා සැපයීමේ කාර්යක්ෂමතාව, ගුණාත්මකභාවය සහ විශ්වසනීයත්වය ඉහළ නැංවීමත් අරමුණු කරගනිමින්, ප්‍රාථමික සේවා ගණයේ සෞඛ්‍ය කාර්ය සහායක (SKS) වෘත්තිකයින් 582 දෙනෙකුට දෙවන අදියර යටතේ පත්වීම් ලිපි ප්‍රදානය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පෙරවරුවේ මරදාන ටවර් පරිශ්‍රයේදී (Tower Halle) සිදු කෙරිණි.

මෙම බඳවාගැනීම මෙරට සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයේ සුවිශේෂී අවස්ථාවක් වන අතර, කිසිදු දේශපාලනික මැදිහත්වීමකින් තොරව  අයදුම්පත් කැඳවා ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණ ක්‍රමවේදය මත පදනම්ව සිදුකළ බඳවා ගැනීමකි. මෙය රාජ්‍ය සේවයේ විනිවිදභාවය, සාධාරණත්වය සහ කුසලතා පදනම් මත පත්කිරීම් ක්‍රමවේදය තවදුරටත් ශක්තිමත් කරන ආදර්ශමත් පියවරක් ලෙස ද පෙන්වා දිය හැකිය.

මෙම පත්වීම්ලාභී 582 කින් සමන්විත සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ස්ථාපිත මධ්‍යම රජය යටතේ පාලනය වන රජයේ රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුත්ත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති අතර, මෙම පත්වීම් ලබාදිමත් සමග සමස්ත ලංකාවම ආවරණය වන පරිදි කොළඹ සහ බස්නාහිර පළාතේ වැඩි කාලයක් සේවය කරන ලද සෞඛ්‍ය කාර්ය සහායක වෘත්තිකයින්ට දිවයින පුරා පිහිටි රෝහල්වලට ස්ථාන මාරුවීම් ලබාගැනීමට අවස්ථාව උදාවේ. ඒ අනුව පළමු සහ දෙවන වටයේ පත්වීම් ලබාදීම අනුව 550 ක පිරිසකට දවයින පුරා ස්ථාන මාරුවීම් ලබා ගැනීමට අවස්ථාව උදාකරදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.  

මෙම සෞඛ්‍ය කාර්ය සහායක කණ්ඩායම සදහා ද තෙදින විශේෂ ප්‍රායෝගික හා න්‍යායාත්මක පුහුණුවක් ලබාදීමට ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය  අමාත්‍යාංශය කටයුතු සැලසුම්කර ඇති එම පුහුණව මගින් අවංක රාජ්‍ය සේවකයෙකු ලෙස මෙරට මහජනතාවට සේවය කිරිමට මූලික දැනුම ලබාදෙනු ලබයි.

පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය අමතමින් අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා නවක පත්විම්ලාභීන් සෞඛ්‍ය සේවාව සඳහා සුහඳව පිළිගන්නා බවත්  අයදුම්පත් 92,000 ක් අතරින්  සුදුසුකම් ලත් අයදුම්කරුවන් 89,000 ආසන්න ප්‍රමාණයක් අතරින් පළමු කණ්ඩායම ලෙස පළමු අදියර යටතේ සෞඛ්‍ය කාර්ය සහායකයින් 627 පත්වීම් ලබාදීමට කටයුතු කරන ලද බව පැවසීය. දෙවන අදියර යටතේ අද 582 කට පත්වීම් ලබාදීමත් සමග සෞඛ්‍ය කාර්ය සහායකයින් 1209 කට පත්වීම් ලබා දී අවසන් බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

දුෂ්කර ගමන් මඟක අභීයෝග රැසක් මැද පැමිණි ගමනක ප්‍රතිඵලයක් ලෙස මෙම පත්විම් ලබාදීම සිදු කරන බවත්, මෙම රාජකාරියට නැවැරදිව බැදීසිටීමට හා රාජකාරියෙන් ඔබ්බට ගොස් මනුෂ්‍යත්වයෙන් යුත් සේවාවක් ජනතාවට ලබාදීමට පත්වීම්ලාභීන්ට වගකීමක් වන බව අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

මීට පෙර සෞඛ්‍ය කාර්ය සහායක පත්විම් ලබාදීමේ දී ඇමති ණයක් ගෙවන වැඩක් සිදු වූ බවත්, ඇමතිට ණයක් ගෙවමින් පත්වීම් ලබාගත් බවත්, පත්වීම් ලාභියාට ඇමැති ණය බවද පෙන්වා දුන් අමාත්‍යවරයා පත්වීම් ලබාගත් පසු පත්විම්ලාභියා අමාත්‍යවරයා‌ගේ බලය පෙන්වන බව ද පැවසීය. ඇමතිට මන්ත්‍රීට ඉහළින් එම පත්වීම්ලාභීන් කටයුතු කරන බවට පැමිණිලි ලැබී ඇති බව ද පැවසීය. මෙම බඳවා ගන්නා සෞඛ්‍ය කාර්ය සහායකයින් 1989 ම දේශපාලන මැදිහත්වීමකින් තොරව, දැනහැදින ගැනීමකින් තොරව, අල්ලස් මුදල් ගැනීමක් නොමැතිව විනිවිදභාවයෙන්, සාධාරණත්වයෙන් හා සුදුසුකම් මත පමණක් පදනම් වූ බඳවා ගැනීමේ ක්‍රියාවලියකට අනුව බඳවාගෙන ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

නිවැරදි ක්‍රමවේදයන් අනුගමනය කරමින් බඳවා ගැනීම් සිදු කළ බැවින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පත්වීම්ලාභීන්ගෙන් නිවැරදි සේවාවක් ලබාගැනීමේ වගකීම පවතින බවත්, දිගු ක්‍රියාවළියක ප්‍රතිඵලයක් ලෙස මෙම පත්වීම් ලබාදුන් බැවින් පත්වීම ලබාගෙන කිසියම් කෙනෙක් සේවය අතහැර යනවා නම් එය සෞඛ්‍ය ක්ෂේත්‍රයට පමණක් නොව මුළු රාජ්‍ය සේවාවටම කරන බරපතල වරදක් බව ද නීතියක් නොතිබුනත් නීතියක් ස්ථාපිත කර හෝ ඊට ක්‍රියාමාර්ගයක් ගත යුතු බව ද අමාත්‍යවරයා මෙහිදී පැවැසීය.

රාජ්‍ය සේවාව ඩිජිටල්කරණ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බවට ඊට ද අනුගතව කාර්යක්ෂම සේවාවක් නව පත්වීම්ලාභීන්ගෙන් අපේක්ෂා කරන බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය බඳවා ගැනීමේ ක්ෂේත්‍රයේ සහ පුහුණු ක්ෂේත්‍රයේ දැවැන්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පෙන්වා දුන් අමාත්‍යවරයා අගොස්තු 01 වනිදා ශ්‍රේණි 06 ක එනම් සෞඛ්‍ය කාර්ය සහායක, ක්ෂේත්‍ර මදුරු මර්දන සහායකයින්, ඔවසියර්ස්, රියදුරු ඇතුළු පත්වීම් 1400 ක් ලබාදීමට නියමිත බව ද පැවසීය.‍

විකිරණවේදීන් 127 ක් බඳවා ගැනීමට සම්මුඛ පරික්ෂණ පැවැත්වෙන බවත්, හෙද විදුහල් තුළ 8000 ක් පුහුණුව ලබමින් සිටින බවත්, හෙද විදුහල්වලට ද නවක සිසු සිදුවියන් බඳවා ගැනීමට ද සම්මුඛ පරික්ෂණ සූදානම් බවද අමාත්‍යවරයා මෙහිදී පැවසූ අතර, ඖෂධවේදීන් 167 ක් බඳවා ගැනිමට අයදුම්පත් කැඳවා ඇති බව ද ඊට අදාල විභාගය නුදුරේම පැවැත්වෙන බව ද පවුල් සෞඛ්‍ය සේවිකා 1113 කට සහ ඖෂධ සංයෝජක  133 කට පත්වීම් ලබාදීමට නියමිත බව ද අමාත්‍යවරයා ‌මෙහිදී වැඩිදුරටත් පැවැසීය.

මෙරට සෞඛ්‍ය සේවාවේ අත්‍යවශ්‍ය සහ අභ්‍යන්තර ආධාරක භූමිකාවක් ඉටු කරන සෞඛ්‍ය කාර්ය සහායක (SKS) සේවාව, රෝහල් පද්ධතියේ දෛනික ක්‍රියාකාරිත්වය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සුවිශේෂී කාර්යභාරයක් සිදුකරනු ලබයි. රාජ්‍ය සේවය තුළ ලක්ෂ 02 කට ආසන්න ප්‍රමාණයක් ප්‍රාථමික සේවා ගණයන්හි විවිධ තනතුරු දරන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය යටතේ සෞඛ්‍ය කාර්ය සහායක 23,000 ක් පමණ සහ පළාත් සභාවත් සමග 40,000 ක් පමණ පිරිසක් සේවය කරනු ලබයි.  

මෙම උත්සවය අමතා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, අතිරේක ලේකම් ජනක කිත්සිරි ගුණවර්ධන යන මහත්වරුන් ද අදහස් පළකර සිටියේය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්වන කේ.පී. යේගචන්ද්‍ර, චාමික එච් ගමගේ යන මහත්වරුන් මෙන්ම නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරුන්, අධ්‍යක්ෂවරුන්, ඇතුළු පිරිසක් එක්ව සිටියහ.